මිනිසුන්ගේ කුණුකම කියන කුණු ප්‍රශ්නේ හෙටටත් ඉතුරු කරනවද?

recycling_garbage

මිනිසා කියන්නේ ලොව බුද්ධිමත්ම සත්වයා බව මම මෙන්ම ඔබද අසා ඇතුවාට සැකයක් නැත. එහෙත් එම කාරණයේදී  සමස්ථ මිනිසුන් කුලකය තුල සත්වයන්ටත් වඩා බුද්ධිය හීන ආත්මාර්ථය පමණක්ම ඇති කුහකත්වයෙන් පිරි මිනිස් කොට්ටාශයක්ද ඇති බව පිළිගත යුතුමය. එවන් පසුබිමක් තුල පුංචිම පුංචි මදුරුවකුට මේ කියන බුද්ධිමත්ම තමන්ට වඩා බෙහෙවින්ම විශාල සත්වයකුගේ ඉරණම තීරණය කරන්නට ඉඩ කඩ සැලසුවේත් බුද්ධිමත්ම සත්වයන් වන මිනිසුන්මය. තවමත් ඩෙංගු වසංගතයේ උණුසුම එසේමය. රජය මාධ්‍ය මගින් ද ජනතාව දැනුවත් කරන්නට කටයුතු කරමින් සිටියි. එසේ දැනුවත් කිරීම් සිදු කලද බීරී අලීන් කොටසක් නිසාවෙන් තව දුරටත් ඩෙංගු අවදානමින් මිදෙන්නට නොහැකි වී ඇත.ඩෙංගු යැයි රජයට දොස් පවරමින් සිටින ඔබ ඔබේ ගෙවත්තේම ඩෙංගුබෝ වන තැන් විනාශ කරන්න. ඒ පිළිබඳ මා අටුවාටිකා පැවසිය යුතුනැතැයි මා සිතමි.

“ආ …ඒත් පොඩ්ඩක් ඉන්න…ඔබේ නිවස ඉදිරියෙන් ගලා යන කානුව පිරිසිඳු කරන්නේ කවුද?”

“ආපෝ නගර සභාවෙන් ”

“නරකද අපිම සුද්ද කරගත්තොත්”

“චී… හැමෝගෙම ජරාව මෙතනින් යනවා අපි මොකටද අනුන්ගේ ජරාව අල්ලන්නේ”

ඇත්ත… ඇත්ත හැමෝගෙම බැහැර කරන වතුර ඔබේ නිවස අසල කානුවෙන්ද ගලා යනවා. එහෙමයි කියලා එතැන වතුර රැස් වුණාම ඒ වතුර කාගෙද කියලා මදුරුවන්ට නම් වැඩක් නැහැ. මෙපමණ පරිසරය පිරිසිදු කරගන්නට දැනුවත් කරන යුගයකත් තමන්ගෙම ගේ ඉදිරියෙන් ගලා යන කානුවේ පොලිතින් නිසා කොල නිසා ජලය ගලා අවහිර වෙලා තියෙද්දිත් ඒ ගැන වගක් නැතිව ඉන්න ඔබටත් මම අදම කානු පිරිසිඳු ගන්න ආරාධනා කරනවා. අපි හැමෝම තනි තනිවම අපේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් ඩෙංගු පරද්දන්න අමාරු නැහැ.

අනිත් කාරණය තමයි අපි අපේම කුණු ටික කාගෙම හරි ඇඟේ ගහලා පැත්තකට වෙන්න උත්සහා කිරීම.අප ගමන් ගන්නා අතුරු පාර පිරිසිඳුය. එහෙත් පසු ගිය දිනක  පාර පුරාම කුණු විසිර, ඉඳුල් ,පොලිතින් ,පරණ පාසල් බෑග් කැඩුණු සපත්තු පාර පුරාම සීසීකඩව දුඟඳක්ද පැතිර තිබුණි. පාරේ අඩිය තියන්නටවත් තැනක් නැත. මට දැනුනේ තරහවක් මෙන්ම දුකකි.

“අම්මා ඊ… පාලේ කුණු අපි යන්නේ කෝමද?”

මගේ තුන් හැවිදිරි පුතා විමසීය.

“අපි අයිනෙන් යමු පුතේ”

“ඇයි අම්මා මේ කුණු කවුද දැම්මේ ?”

“නරක මිනිස්සු දාලා ගිහිල්ලා පුතේ. හොඳ මිනිස්සු තමන්ගේ කුණු පාරේ දාන්නේ නැහැ. පාර කැත වෙනවා,ගඳ වෙනවා. ඒක නිසා අපි කොළ කෑල්ලක්වත් බිම නොදා ඉන්න පුරුදු වෙන්න ඕනී.”

පුතා ළදරු පාසලට ඇරලවූ මා යුහුසුලුව අර කුණු ගොඩ වෙත ගියේ කුණු අයිතිකාරයා ගැන හෝඩුවාවක් සොයන්නටය. ඇත්තටම ඒ කුණු ගොඩෙහි අයිතිකරු මුදල් යහමින් ඇති පුද්ගලයකු බව මට කිව හැක්කේ ඒ කුණු ගොඩෙහි තිබූ කුණු වලින්මය. එහෙත් ඔහුගේ කුණු සුපිරි වුවද ඔහු නම් මහා තකතීරූ, මෝඩ සමාජය ගැන කිසිඳු තැකීමක් නැති ආත්මාර්ථකාමී පුද්ගලයෙක් බව කියා පෑවේ ඔහුගේම කුනුය. හ්ම්… මගේ උත්සහයද සාර්ථක නොවුනේ නම සඳහන් කිසිඳු කොළ කැබැල්ලක්වත් සොයා ගන්නට නොහැකි වූ නිසාවෙන්ය.

කුණුලොරිය පැමිණියේ පෙර දිනය. නගර සභා කුණු ලොරියෙන් කසල වෙන් වෙන් වශයෙන් බැහැර කරන්නට කියා කලින් දැනුම් දීඇත. වෙන් වශයෙන් නැති කසල ලොරියෙන් භාර ගන්නනේ නැත. මේ සුපිරි පුද්ගලයාගේ සුපිරි කුණුද එසේ වර්ග නොකිරිම නිසා භාර නොගන්නට ඇත. එනිසා මේ පාරේ පාලු ස්ථානයේ දමා යන්නට ඇත. දවස් දෙකකට පමණ පසු නගර සභාවේ සේවකයකු විසින් එම කුණු පුලුස්සා දමා කුණු දැමීම තහනම් බවත් දඩුවම් ලැබිය හැකි වරදක් බවත් දක්වන පෝස්ටරයක් ඇලවනු ද මා දුටුවෙමි. ඊට පෙරද අනවසරයෙන් කුණු දැමීම තහනම් යැයි එතැනම දැන්වීමක් දමා තිබුනද කුණු දමා ගොස් තිබුණි.

අපේ කුණු අපටම හිසරදයක් වන තැන අනුන්ට අපේ කුණු දමා ඇඟ බේරා ගතහැකිද? අපේ කුණු වලටත් රජය වගකිව යුතු යැයි සිතන්නට අප පුරුදුව ඇත. කසල ගැටලුවට විසඳුමක් ලෙස වෙන් වෙන්ව කසල ගෙන යෑම ආරම්භ වී බොහෝ කාලයකි. එහෙත් තවමත් අපේ පුද්ගලයන් එයට අනුගත කරවා ගැනීම අපහසු වී  ඇත.

“අපිට රටේම මිනිස්සු හදන්න පුලුවනැයි”

ඔව් අපිට රටේම මිනිස්සු හදන්න නොහැකිය. එහෙත් තනි තනිව අපි හැදුනොත් රටම හැදිය හැකිය. අදම ඔබේ කසල කළමණාකරණය නිවසින් අරඹන්න. දිරන නොදිරන දෑ වෙන් වෙන්ව බැහැර කරන්න. නිවසේ අනිත් අයත් කසල බැහැර කරන බඳුන් පිළිබඳව දැනුවත් කරන්න. නැත්නම් එම භාජන නම් කර තබන්න. කෙතරම් උගත් වුවත් බුද්ධිමත් වුවත් අනුන්ට වදක් ලෙස ජීවත් වන්නේ නම් කවර හොඳක්ද? පරිසරය පිරිසිඳුව තබා ගැනීමට කුඩා කල සිටම අපේ දරුවන්ට කියා දිය යුතුය. මග තොටේ ටොපි කොළ ,යෝගට් කෝප්ප, කිරි පැකට් එමට ඇත. ඒ ඔබ විසින්ම බැහැර කල ඒවාය. දරුවන්ට ඒවා මග තොටේ දමා යන්නට ඉඩ නොදෙන්න. නිසි ලෙස එය කුණු කූඩයකට දමන්නට නොහැකි නම් නිවස ගෙන ගොස් ඉවත දමන්නට පුරුදු කරන්න. යහපත් සමාජක් තැනීමේ මූලිකම අඩිතාලම අපේ නිවසින්ම පටන් ගනිමු. එවිට සුන්දර මව් බිමක අසිරිය විඳිය හැකි වනු ඇත.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY