- Advertisement -

අනාගතය ජයගන්න, දරුවන්ට අවැසි පන්නරය නිවසෙන්ම ලබාදෙන්න

-

දරුවන්ට කන්න දෙනවා නම් බොන්න දෙනවා නම්…උගන්වනවා නම් වෙන මොනවාද තව දෙන්න කියන්නේ…මව්පියන් විදිහට ඔබ මෙහෙම හිතුවත් ඔවුන්ගේ අනාගතයට අවශ්‍ය පන්නරයත් නිවසේදීම ලබා දීම ඉතා වැදගත්. අද දරුවා හෙට රටේද නායකයා වන බව ඔබ දන්නා නිසාම මතු දවසේ මව්පියන් විදිහට ජීවිතයට මුහුන දීමට අවශ්‍ය පන්නරයත් ඔබගෙන්ම ලැබෙනවා නම් වඩාත් ගැලපෙන දරුවෙක් සමාජයට දායාද කළා වෙනවා…එහෙම නම් ඔබ දරුවාට මේ හැඩගැස්මත් බාලකාලයේ පටන්ම ගොඩ නගන්න.

ගෙදර කටයුතු කලමනාකාරණය කරන්න

අද මව්පියන් නිවසේ කටයුතු නිසා බොහොම හෙම්බත් වෙනවා. මගේ දරුවන් ය යන සංකල්පය නිසා අද මේ විදිහට නිවසේ කටයුතු ඔබ වෙතින් සිද්ධ වුනත් හෙට දවසේ ඔබේ දරුවාටත් තනිවම ගෙදර දොර පාලනය කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා බාල කාලයේ පටන්ම නිවසේ පාලන කටයුතු ගැන දරුවාට හුරු කරන්න. එවිට ඔවුන්ගේ අනාගත කැදැල්ල නොදැනම සිරි විමනක් බවට පත් වෙනු ඇත.

- Advertisement -
ඉවුම් පිහුම්

පිරිමි දරුවන්ට වුනත් ඉවුම් පිහුම් කටයුතු ගැන දැණුමක් තිබුනොත් වරදක් වෙන්නේ නැහැ. බිරිඳට අසනීපයක් හැදුන විට, ගමනක් බිමනක් ගිය විට පිරිමියෙක් වුනත් ආහාර පාන සකසා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම නැති වුන දාට ” පුලුස්සා ගත් රොටිය කරවිය බිරින්දෑ නෑගම් ගොහිං…”  යනුවෙන් මැසවිලි නගන්න වේවි.

මුදල් පාලනය

සල්ලි දෙවියන්ගේ මල්ලිටත් වඩා වටින්නේ අද මුදල නොමැතිව කිසිම කටයුත්තක් ඉටු කර ගැනීම නොහැකි නිසාය. ගෘහ පාලනයේදී මුදල් සකසුරුවෙමෙන් පාවිච්චියට දැන ගැනීම ඉතා වැදගත්.ලැබෙන ආදායම ගැන සලකා බලා ඒ සීමාවේ සිටිනවා වෙනුවට තමාට නොහැකි අන්දමින් වැය බර ගොඩ නගා ගැනීම නොවිය යුතු දෙයක්. අද ඇතැම් කාන්තාවන් නිසා පවුලම ආර්ථික වශයෙන් පිරිහීමට පත් වෙනවා. ඇතැම් සැමියන් බිරින්දෑවරුන්ට චෝදනා නගන්නේ කොච්චර හම්බ කළත් මකර කටට දානවා වගේ…එයින් පෙනෙන්නේ සැමියා හරිහම්බ කරන ලද දෙය මනා වූ සකසුරුවමෙන් පවත්වා ගැනීමට අපොහොසත් කාන්තා චරිතයක් ගැනයි.

ඒ වගේම ඇතැම් සැමියන්ටත් මුදලක් දුටුවොත් එය අවසාන කරන තෙක් ඉවසීමක් නැත. කුමක් හෝ වැය ශීර්ෂයක් ඒ වෙනුවෙන් ගොඩ නගනු ඇත. මේ නිසා පිරිමි දරුවන්ටත් මුදල් පාලනය ගැන දෙමව්පියන් විසින් ලබා දෙන දැණුවත්බව ඔවුන්ගේ අනාගතයට ඉතා වැදගත් වේ.

කාලය

කාලය අපට නවත්වා ගත නොහැක.කාලය රන් හා සමාන කළත් අද එයට දෙන නිර්වචනය වන්නේ කාලය රත්රන්වලටත් වඩා වටිනා බවයි. අද දවසේ ගෙවෙන තත්පර අපි ආරක්ෂා නොකල විට හෙට අපට අපතේ යන්නේ පැයඅවුරුදු ගණන්ය.මේ නිසා දරුවන්ට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දැණුවත් කරන්න. අද කල යුතු දෙය හෙටට කල් දැමීම යනු කාලයේ නිසි කලමනාකරණයක් නොවුන විට ඇති වෙන ගැටලු බව ඔවුන්ට පහදා දෙන්න. කාලය කා දමන්නා කාලකන්නියා වුනත් දරුවන්ට එසේ ආමන්ත්‍රනය නොකොට කාලය නිසි පරිදි හසුරුවා ගැනීමට අවශ්‍ය පදනම ඔවුන්ට සලසා දෙන්න. එවිට ඔවුන්ගේ අනාගතයත් ඒ අනුව ගොඩ නගා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

ආගම හා සංස්කෘතිය

සංස්කෘතිය කන්නද….එසේත් නැත්නම් හණමිටි අදහස්…ඒත් නැත්නම් ලෝකයේ තාලයට අපි අවනත විය යුතුය කිව්වත් අද අපේ දරුවන්ගේ හර වටිනාකම් බොහොමයක් ගිලිහී තිබෙන්නේ සංස්කෘතියෙන් ලබන ශික්ෂනය ඔවුන්ට නොමැති වූ නිසාය. නම අගට උපාධි සමත්ව අකුරු අමුණා ගත් පමනින් දරුවා නිසි තැනට පත් වුවාය යන තෘප්තියට පත්විය නොහැක. ආගම දහම සහ සංස්කෘතික වටිනාකම් ඔවුන්ට පහදා දිය යුතුය.

අද මහමග දමා යන දෙමව්පියන්ගේ දරුවන් උගත්කමින් ඉහලය. සමාජ වටිනාකම් යැයි තක්සේරුකරන මිනුම් වලින් යුක්ත වුනත් වියපත් දෙමව්පියන්ට සැලකිය යුතුය යන සංකල්ප ඔවුන්ගේ හිතේ නොමැති වීම යුගයේ අවාසනාවක් වී ඇත. එබැවින් දරුවා බාල කාලයේ පටන්ම ආගම, අපේ වටිනාකම් යන රාමුව තුළ හික්මවා ගෙන අනාගතයට දායාද කරන්න.

ලිංගික අධ්‍යාපනය

ලිංගිකත්වය දරුවන් සමග කතා නොකල යුත්තක්ය යන සංකල්පයෙන් ඔබ ඉවත් වන්න. පිරිමි සහ ගැහැණු දරුවන්ගේ ශාරිරික වෙනස්වීම් සමග ඇති වෙන අතුරු ලක්ෂණ ගැන ඔවුන්ට පහදා දෙන්න.

එක්තරා ජාත්‍යන්තර සංවිධානයක් ආරම්භ වීමට මුල් වුන නිමිත්තක් ඇත. දරුවන්ට තමාගේ සිතුවිලි කතා බහ නොකිරීමට තහංචි පැනවීම නිසා ඔවුන් ඉතා අසරණ වූහ. මේ නිසා තමන්ගේ  දුක බෙදා ගැනීම වෙනුවෙන් එක්තරා ජාත්‍යන්තර ආයතනයක් ආරම්භ කරනු ලැබුවේ මෙම සිදුවීම නිසාය. එම සිදුවීම මෙයයි.

එංගලන්තයේ එක් දැරියක් වැඩිවියට පත්වීමෙන් පසුව මාසිකව ඔසප් සිදු වෙන බව දැනගෙන සිටියේ නැත . ඒ නිසා ඔසප්වීම ආරම්භය වීම නිසා ඇය බියට පත්ව සිය දිවි නසා ගත්තාය. ඇත්තටම මේ සිද්ධිය සාමාන්‍ය තත්වයක් බව ඇය දැන සිටියා නම් මෙම අවාසනාවන්ත මරණය කිසිදු විටෙක සිදු නොවනු ඇත.

සතුට ලබා දෙන්න

දරුවන් සතුට අගය කරන සතුට අවශ්‍ය පිරිසකි. බාලකාලයේදී සතුටින් පිරුන ජීවිතය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය පෞරෂය ගොඩ නගනු ඇත. ඒ නිසා ඔබට හැකි මට්ටමින් දරුවාට සතුට ලැබෙන දේ ඉටු කර දෙන්න. ඔවුන්ගේ සතුට ඔබට නොවැදගත් වුනත් එයින් සැකසෙන්නේ දරුවාගේ අනාගතයට අවශ්‍ය පෞරෂයයි. ඒ නිසා ඔවුන් විසින් ඉදිරිපත් කරන, ඔවුන්ගේ සතුට සදන කටයුතු එක්වරම ප්‍රතික්ෂෙප නොකොට දෙවතාවක් ඒ ගැන හිතන්න.

පරිසරයට ආදරය කරන දරුවන්

අද පරිසරයට ආදරය නොකරන පරම්පරාවක් බිහිවීම නිසා එයින් බැට කන්නන් බවට අප පත්ව ඇත. ගහ කොල සතා සිවුපාවාට ආදරය කරන, ඇල දොල ජලතලා විනාශ නොකරන,ඒවායේ සුන්දරත්වය විදින , සුරකින පරම්පාවක් අද යුගයේ අවශ්‍යතාවය බවට පත්ව ඇත. ඒ නිසා ගහ කොල ගැන ඔවුන්ට කියා දෙන්න. පරිසරයේ සුන්දරත්වය වින්දනය කරන ඉව ලබා දෙන්න. වලාකුලක, තරුකැටයක, කන්දක, මලක ඇති සුන්දරත්වය ඉදිරියේ ඔවුන්ගේ දෙනෙත් විවර කරන්න. හැන්දෑවට අහසේ පායා ගෙන එන හඳ දෙස දරුවා සමග බලන්න. කොන්ක්‍රිට් පරිසරයක වුනත් අහස පෙනන කොතැන හෝ කවුලුවක් ඇත. එයින් අහසේ විසිතුර පෙන්වන්න. අපි ඉන්නේ ෆැලට්ස්වල බව සැබෑ වුනත් නගරයේ තිබෙන උද්‍යානයකට හෝ දරුවන් කැටුව යන්න.

ඔබ දරුවාට නියම අන්දමින් යුතුකම් ඉටු කරන්නේ නම් ඒ ලැයිස්තුවටම මෙම කරුණු කීපයත් එක් කරන්න. අනාගතයේ ඔබේ දරුවා ඔබට වගේම රටට වැඩදායක චරිතයක් වෙනු ඇත. ඔබේ දරුවාගේ සුවඳ හමා යා යුත්තේ  ලෝකයටයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article