සුන්දර ළමා ලෝකයක් ගොඩනගන්න සෙල්ලම අවශ්‍ය වෙන්නේ මේ නිසයි

kids_playing

දරුවන්ට කන්න අදින්න උගන්වන්න අම්මා තාත්තා දරණ ධෛර්ය ඔවුන්ට සෙල්ලම් කරන්න නම් ලැබෙන්නේම නැහැ. සෙල්ලම කියන්නේ දරුවන්ගේ ඉගෙණුම කඩාකප්පල් කරන ඇබ්බැහියක් විදිහට හිතුවත් අපේ ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදයි. ඒ විතරක් නොවෙයි…සෙල්ලම් කරන විට අම්මා තාත්තාට අවශ්‍ය විදිහට දරුවන් හැසිරවීම වගේම ඒ මැද්දට අම්මා තාත්තා සම්බන්ධ වීමත් එතරම් හොඳ නැති බවයි දැන් අනාවරණය කර ගෙන තිබෙනවා.කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ළමා ලෝකය බොහොම සුන්දරයි. සෙල්ලම් කරන විට අපූරු නිර්මානශීලී සිතුවිලි මැවෙනවා. ඒ නිසා සෙල්ලම් කරන විට අපි මැද්දට ඇවිත් මේ විදිහට කරන්න… යනුවෙන් විධාන පැනවීම එතරම් ගැලපෙන දෙයක් නොවන බව මෙම අධ්‍යනයේ ප්‍රධාණී ඩේවිඩ් වටිය්බෙඩ් සඳහන් කරනවා.

වැලි සෙල්ලම් බත් උයන දරුවා මැද්දට ඇවිත් ඔවුන්ගේ සැලසුම කඩා ඉහිරුවා දමන්න නරකයි.එය නිදහසේ ඉදිරියට කරගෙන යන්න ඉඩ දීම අවශ්‍යයි. ඕක ගන්න එපා…ඕවා අතගාන්න එපා යනුවෙන් නිහේධනයන් ලබා දම ඉතාම නරකයි. ඉස්සරකාලයේ නම් දරුවන්ගේ සෙල්ලමට අවශ්‍ය හැම දෙයක්ම පරිසරයෙන් ලැබුණා. සෙල්ලම් කඩයක් දැම්මත්, වැලි බත් ඉව්වත් ඒ වෙනුවෙන් අවශ්‍ය හැම අමුද්‍රව්‍යක්ම පරිසරයෙන් ලබා ගත්තා. අද දරුවන්ට ඒ වාසනාව නැති හින්දා ඔවුන් ගෙදර පාවිච්චි කරන උපකරණ වෙනුවෙන් යොමු වෙනවා. ඒ වෙලාවට අම්මා ආවේශ වෙන්නේ දරුණු අපරාධයක් කළ විදිහටයි.

දැන් ඔබ කියාවි හරි අපූරුයි ගෙදර තියෙන වටිනා කියන දෙය විනාශ වුනොත් කියලා…ඒ වුනත් ඔබ දරුවාට සෙල්ලමට අවශ්‍ය උපකරණ සපයා දීම වැදගත්. වැලි අතගාලා කෝම්පිට්ටු හදනවිට අම්මලා බය වෙන්නේ වැලි අතගාලා විෂබීජවලට නිරාවරනය වෙයි…කුෂ්ට ඇති වෙයි…මේ විදිහට සාධාරණ බිය සැක ඇති වුනත් මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට කෝම්පිට්ටු සැදීම බොහොම වැදගත් සෙල්ලමක්. එයින් දරුවාගේ නිර්මානශීලි චින්තනය අවදි වෙනවා. ඒ වගේම කෝම්පිට්ටු ඉදීයෝ…කෝම්පිට්ටු ඉදීයෝ…රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයෝ…කියමින් කරන මේ සෙල්ලමෙන් ලැබෙන වටිනාකම් බොහොමයි.

දරුවා වැලි අතගාන නිසා හසුරු කුසලතාවයන් සංවර්ධනය වෙනවා

යම් පදවැලක් ගායනා කරන නිසා ගායනීය හැකියාවන් වගා වෙනවා.පොල්කටුවට තට්ටු කිරීම නිසා රිද්මානුකූල සංකල්ප ගොඩ නැගෙනවා.සෙල්ලම අධ්‍යාපනයට බාධාවක්ය යන සංකල්ප ගොඩ නගා ගෙන මව්පියන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා දරුවාට ලබා දී තිබුන කාලය හැම විටම සීමා කරනවා. ඒ වුනාට අනාගත අධ්‍යාපනයට අවශ්‍ය පෞරෂය ගොඩ නැගෙන්නේ සෙල්ලම තුලින් බව අමතක කරන්න හොඳ නැහැ.

අධ්‍යාපනය වෙනුවෙන් නිර්මානශීලීත්වය අවශ්‍යයි.දරුවන් පුංචි වුනත් ඔවුන්ටත් තර්ක බුද්ධියක් තිබෙනවා. මේ සංකල්ප හිතේ තිබුනාට ඒවා අවදි වෙන්නේ සෙල්ලම තුලින් බව අමතක කළ යුතු නැහැ. ඉස්සරවෙලා තාත්තට බත් බෙදන්න….නංගිට ටිකක් බෙදන්න…එයා පුංචියි…එයාට කැඳ ටිකක් හදන්න…මේ විදිහට ඉතාම තර්කානුකූල සිතුවිලි සෙල්ලම තුලින් නොදැනම වගා වෙනවා.

දරුවන්ගේ සෙල්ලමට අම්මා තාත්තා මැදිහත් නොවුනාම ඔවුන්ගේ ස්වාධීනත්වය නොදැනම ඇති වෙනවා. දෙමව්පියන්ගේ මැදිහත්වීම සිදු වුනොත්එයින් වෙන්නේ දරුවාගේ ස්වාධීනත්වය බිද වැටීම පමණයි.ඔබ මැදිහත් වෙනවා නම් එසේ මැදිහත් විය යුත්තේ මේ සෙල්ලමේ කොටස් කාරයෙක් විදිහට පමණයි. දරුවන් සෙල්ලම් කඩයක් දාගෙන සිටින විට ඔබට එහි ගණුදෙණුකරුවෙක් විදිහට මැදිහත් වෙන්න බාධාවක් නැහැ.

දරුවන් වයසෙන් පුංචි වුනත් ස්වාධීනත්වය පිලිබඳව බොහොම පොහොසත්. සෙල්ලම් කරද්දී අහගෙන හිටියොත් ඔවුන්ගේ දෙබස් හරිම රසවත්.දරුවන් එහිදී පණ දෙන්නේ වැඩිහිටියන්ගේ චරිතයටයි. අපි නොදකින දේවල් ඔවුන්ගෙන් වැඩිහිටි අපට දැක ගන්න ලුලුවන්.

එලිමහන් කි්‍රඩාවන් නිසා පරිසරය සමග දරුවන් සම්බන්ධතාවය ගොඩ නගා ගැනෙනවා.මේ නිසා ඔවුන්ගේ මානසිකත්වය යහපත් වෙන බව කොලරාඩෝ සරසවියේ මානසික සහ ස්නායු විද්‍යාව පිලිබඳ මහාචාර්ය යුකෝ මොනකාටා සඳහන් කරනවා.

අම්මා තාත්තා දරුවන්ගේ සෙල්ලමට අතරමැදියෙක් වෙලා සෙල්ලම කඩා කප්පල් කිරීම හොඳ නැති වුනත් දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් සිටීම වැදගත්. අද අහන්නනට ලැබෙන අනතුරු ඉදිරියේ මව්පියන් දරුවන් සෙල්ලම් කරන විට අවධානය දැක්වීම ඉතාම වැදගත්. ඔන්චිලි පදින විට, සරුංගල් අරින විට වගේම නොදැන වස විස ආහාරයට ගැනීම වැනි අවදානම් ඉදිරියේ දරුවාට ආරක්ෂාව දීමට යම් අවධානයකින් ඔවුන් දෙස බලා සිටීම මිස සෙල්ලම් ලෝකයේදී අවශ්‍ය නිදහස දරුවන්ටම ලබා දීම ඉතාම වැදගත්.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY