- Advertisement -

එක මේසේ එකට එක්ව කෑම කද්දී ලැබෙන වාසි මෙන්න

-

අතීතයේදී නිවසේ මුලින්ම බත්පත බෙදුවේ පවුලේ අප්පච්චිටයි. එයින් පසුව පිරිමි දරුවන්ට. සාමාන්‍යයෙන් අම්මා ඇත්නම් කාලා නැත්නම් හිත හදා ගන්නා චරිතයක්. දරුවන්ගේ බඩ කට පිරුනානම් එයින් තෘප්තියට පත් වෙනවා. ඒත් සමාජ විද්‍යාඥයන්ගේ පෙන්වා දීමට අනුව පවුලේ හැම දනාම එකතුව එකම වේලාවක ආහාර ගන්නවා නම් වඩාත් හිතකර බව පෙන්වා දෙනවා. ඔවුන් ඒ ගැන කියන්නෙත් නිකම්ම නොව කරුණු කාරණා ඇතුවයි.

අද පවුල කියන්නේ ඇත්තටම විතැන් වුන ඒකකයක්. පිරිමි දරුවන්ට අන්තර්ජාලය එහෙම නැත්නම් පරිගණකය නිසා කන්න බොන්න වෙලාවක් නැහැ. අම්මා කුස්සියටම සීමා වෙලා. අමතර පංති යන ගැහැණු දරුවෝ රාත්‍රියට ආහාරයක් ඇත්තේම නැහැ. මේ හැම දෙයකටම විසඳුමක් විදිහට පවුගේ හැම දෙනාම එක්ව එකට ආහාර ගත්තොත්….

- Advertisement -
අපතේ ආහාර යෑම වැලකෙනවා

පවුලේ එක් එක් අය එක් එක් වේලාවට බත් බෙදන විට ප්‍රමාණය ගැන තක්සේරු කරන්න බැහැ. අනේ මදි වුනොත් යන අදහස නිසා පමණ ඉක්මවා බෙදන නිසා අපතේ යෑම ඉහලයි. එක මේසයකදී තමන්ට අවශ්‍ය බත් ප්‍රමාණය බෙදා ගැනීමට ලැබෙන අවස්ථාව නිසා අපතේ යෑම් මගහරවා ගන්න ඉතාම පහසුයි.

ආහාර ප්‍රමාණය ගැන දැනගන්න

අද බොහෝ ගෘහනියන්ට තමන්ගේ පවුලට අවශ්‍ය විදිහට ආහාර පිලියෙල කරන ප්‍රමාණ ගැන දැණුවත් බක් නැහැ.. ඒත් පවුලේ අය එකට ආහාර ගන්නා විට මේ දැණුවත් බව ලැබෙනවා. හාල් හුණ්ඩු දෙකක් පවුලේ හතර දෙනාට සීමා වෙනවා නම් නිවසට පැමිනෙන අමුත්තන් එන විට අනේ හාල් කොච්චරක් ගන්න වෙයිද….යන චකිතය අවශ්‍ය නැහැ. එළවළු ගැන වුනත් එහෙමයි. එළවළු දෙසිය පණහ කී දෙනෙකුට ප්‍රමාණවත්ද….මේ දේවල් ගැන නිසි විදිහට දැන ගන්න ලැබෙන්නේ පවුලේ අය එකම මේසයක ආහාර අනුභව කළොත් පමණයි.

සුහද කතා බහ

අද කාර්යබහුලත්වය නිසා හැම දෙනාම තම තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හුදෙකලා වෙලා. ඒත් පවුලේ උදවිය එක්ව එකම වේලාවක ආහාර ගන්නවා නම් දවසේ තොරතුරු ගැන කතා බහ නොදැනීම සිදු වෙනවා. දරුවන්ගේ මානසික පීඩනයටත් වැඩියෙන්ම බලපාන්නේ මානසික හුදෙකලාව බව දැන් බොහෝ මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන්ට තමන්ගේ අදහස් අම්මාට තාත්තාට ඉදිරිපත් කරන්න වෙලාවක් උපයා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අම්මාට තාත්තාට වුනත් තමන්ගේ ගැටළු සහ උවමනාවන් ඉදිරිපත් කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. ඒත් ආහාර වෙනුවෙන් එකම මේසයක වාඩි වුනාම එකිනෙකා අතර ඇති වෙන කතා බහ මගින් ඔවුන්ගේ පවුලේ අදහස් උදහස් ඉබේටම හුවමාරු වෙනවා. මේ නිසා දරුවන් ගැන දෙමව්පියන් වගේම දෙමව්පියන් ගැන දරුවන් තුළත් අදහස් සන්නිවේදනය ඉතාම සරල සහ පහසු විදිහට සිද්ධ වෙනවා.

එකිනෙකාගේ රුචි අරුචිකම් තේරුම් ගත හැකියි

අද අම්මා බත් උයනවා. දරුවන් කනවාද නොකනවාද දන්නෙත් නැහැ. අම්මා උයන පිහන වැඩ කටයුතු අවසානයේදී රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙන්නේ පැය දෙක තුනක් එතැන රැ‍ඳෙනඅදහසින්. මම දවසම මහන්සි වෙලා විවේකයක් ගන්නේ මේ ටික වෙලාව විතරයි…අම්මා තමා වෙනුවෙන් සාධාරණත්වය ගොඩ නගන්නේ ඒ විදිහටයි. එයින් පසුව මුලුතැන්ගෙය අස්පස් කරන්න යන ඇය බත් විසි කර ඇති අන්දම දුටුවාම බත් ඉවත දමා තිබෙන විදිහට අම්මාට කේන්ති ඇති වෙනවා. ඒත් මේවා විසි කරන්නේ ඇයි කියල හිතන්න අවස්ථාවක් නැහැ. ඒ වුනත් එක මේසයක හැම දෙනාම එකවර ආහාර ගන්නවා නම් මම කැමැති ගොටුකොල සලාදයට…මම කැමැති මැල්ලුමට…මම කැඳට යනුවෙන් එක් එක් අයගේ රුචි අරුචිකම් ගැන අදහස් හුවමාරු වෙනවා. මේ නිසා එකම මේසයක ආහාර ගැනීම නිසා සන්නිවේදනය ගොඩ නගා ගැනීම බොහොම පහසුයි.

ආහාර ගැනීමේ සිරිත් ගොඩ නගන්න

එකම මේසයක ආහාර ගන්නා විට දරුවන්ගේ ආහාර අනුභවය පිලිබඳව සිරිත් ගොඩ නගන්න පහසුම භූමිකාවක් නිර්මානය වෙනවා. ඉදුල් අතින් හැන්ද වීදුරුව අල්ලන්න එපා යන න්‍යායාත්මක අවවාදයන්ට වඩා මේසයේදී ප්‍රායෝගිකව මේ ගැන ලබා දෙන පුහුණුව ඉතා වැදගත්. වතුර බොන විට ශබ්ද නගා බොන්න එපා…තලු ගසමින් ආහාර විකන්න එපා…මේ ගැන අවවාද ඉතාම සාර්ථක ලෙසින් ලබා දීමට කෑම මේසය ඔබට ඉතාම හොඳ පුටුවහලක් වේවි.

අම්මාට ආහාර පිසින්න උනන්දුව ඇති වෙනවා

අම්මා කෙනෙක් නිතරම ආහාර පිළියෙල කරන්නේ තමන්ගේ දරුවන් මුල් කර ගෙනයි. අම්මාගේ සතුට දරුවන් හොදින් ආහාර ගැනීම ගැන බලා සතුටු වීමයි. ඒ සතුටුින්ම ඇය කුසට වඩා හිත පුරවා ගන්නවා.එකම මේසයක ආහාර ගන්නා විට ඒ දෙස බලා සිටින අම්මාට තම දරුවන් වෙනුවෙන් තව තවත් රසට සහ ගුණයට ආහාර පිසින උනන්දුව ඇති වෙනවා. ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. ඇය තමන්ගේ දවසම කැප කරන්නේ දරුවන් වෙනුවෙන් හොඳ දෙයක් ලබා දීමටයි. මේ හොඳ දෙය ඇයට හොඳ වුනාට දරුවන් දක්වන ප්‍රතිචාර දැනෙන්නේ කෑම මේසයේදියි. අම්මේ පොලොස් ඇඹුලක් හදන්න…මම හරිම ආසයි…අම්මේ කොස් මැල්ලුමක්…මේ විදිහට දරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම් නිසා අම්මාටත් ආහාර පිලියෙල කරන්න කිසියම් උත්තේජනයක් ලැබෙනවා. එහෙම නැතුව ඇය උයන පිහින දෙය වෙනුවෙන් කිසිම කෙනෙක් ප්‍රියතාවයක් හෝ උනන්දුවක් නොදක්වන විට ආහාර පිසිම අම්මාටත් උදාසීන කටයුත්තක් බවට පත් වෙනවා.

අද හැම දෙනොම කාර්ය බහුලබව ඇත්ත. ඒත් දවසේ අඩුම වශයෙන් කැදැල්ලට එන කුරුල්ලන් වගේ පවුලේ සියලු දෙනාම නිවසට එකතු වෙනවා. එවන් අවස්ථාවකදී හැම දෙනාම එකම මේසයක , එකම වේලාවක අආහාර ගන්නවා යනු ඇත්තටම පවුල යන සංකල්පය ගොඩ නගා ගැනීමට ඉතාම හොඳ තෝතැන්නක් ඔබටත් නොදැනීම කෑම මේසයේදී නිර්මානය වෙනවා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article