දරුවාගේ හිස වැදුණොත් කරන්න ඕනේ දේ දන්නවද?

if_child's_head_hit

පුංචි දරුවෙක් වැටුණම අම්මලා හරියට කලබල වෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය අපි වැඩිපුරම දකින්නේ ඒ අවස්ථාවේදී දරුවාගේ හිස වැදුණොත් තමයි. ඇත්තටම එහි අවදනමක් නැත්තේ නෑ. මොකද මිනිස් සිරුරේ ප්‍රධාන පාලක මැදිරි ලෙස හඳුන්වන්න පුළුවන් අපේ මොළයට හිස වැදීම හේතුවෙන් හානි විය හැකි අවස්ථාත් තිඛෙන නිසා. නමුත් මෙවැනි දරුණු තත්ත්වයක් ඇති වීමට නම් දරුණු ලෙස හිස වැදීමක් විය යුතුයි. කෙසේ වුවද මේ පිළිබඳව මව්පියන් දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවා.

සාමාන්‍ය හිස වැදීමකදී,

එතරම් උස් නොවූ ස්ථානයකින් දරුවා ඇද වැටීමකට ලක්වී හිසේ වැදුණු ස්ථානය තඩිස්සි වන්නේ හිස තදින් වැදීමකදී හිස වටා සමෙහි ඇති රුධිර නාලිකාවලට හානි වීමෙන් රුධිරය සම මතුපිටට එකතු වීම නිසා හිස් කබලත් සමත් අතර ඉදිමුමක් ඇති වීමෙනි. මේ තත්ත්වය එතරම් භයානක තත්ත්වයක් නොවන අතරම දිනකින් දෙකකින් මගහැරී යයි. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන අතරම ඇතැම් මව්වරුන් අයිස් තබා  තැවීම, බටර් ගැල්වීම වැනි දේට පුරුදුව සිටී.

දරුණු හිස වැදීමකදී, එනම් ඉතා ඉහළ ස්ථානයකින් ඇද වැටීමකදී,

  • මොළය ආවරණය වී ඇති ඩූරා පටලයත් මොළයත් අතර රුධිර වහනයක් ඇති වුවහොත් එය පෙර සඳහන් කළ පරිදිම භයානක තත්ත්වයකි.
  • මොළය තුළ සිදුවන තෙරපුමක් නිසා පහළට තද වීම හේතුවෙන් කුඩා මොළය නම් වූ කොටස සුශුම්නාවට තද වීමෙන් දරුවා ජීවිත අවදානමකට පවා ලක්විය හැකිය.
  • හිස වැදුණු පසු තඩිස්සි වීමකින් තොරව හිස් කබල ඇතුළතින් පිපිරීමට ලක් විය හැකිය.
  • හිස අභ්‍යන්තරයේ තඩිස්සි වීම් ඇති විය හැකිය

හිස වැදීමකින් පසුව දවසක් පැය 24ක් නිරෝගීව සිටි දරුවෙකු,

  • වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම
  • හෘද ස්පන්දනය වේගවත් වීම
  • හිසේ වේදනාවක් ගැන විටින් විට පැවසීම
  • ඇවිදින ආකාරයේ වෙනසක් පෙන්වීම
  • ඇඬිම
  • වමනය/ක්ලාන්ත ගතිය/වලිප්පු තත්ත්වය
  • නාසයෙන්/කටින්/කනින් අවර්ණ දියරයක් ශ්‍රාවය වීම

අංශභාග තත්ත්වය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඒවා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන අවස්ථාවකදී පෙන්නුම් කරන ලක්ෂණ බැවින් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේ.

ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙකු රෝහල්ගත කළ විගස අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමට ස්කෑන් පරික්ෂණ සිදු කර, අවශ්‍ය වුවහොත්, ශල්‍යකර්මයකට යොමු කර රුධිර කැට ඉවත් කරයි. මෙවැනි තත්ත්වයකදී රුධිර වහනය හේතුවෙන් ස්නායු තෙරපුමට ලක් වී ස්නායූවලට හානි සිදු විය හැකිය.

  • රුධිර කැටිය සිර වන පැත්තට විරුද්ධ පස දෑත් දෙපා අප්‍රාණික වීම
  • කථනය හා සම්බන්ධ ස්නායූවලට හානි වීම හේතුවෙන් ගොතය ඇති වීම
  • රුධිර වහනයක් හිස පිටුපසින් සිදුවුණි නම් දෟෂ්‍යාබාධ ඇති වීම
  • දීර්ඝ කාලීනව ආබාධිත තත්ත්වයට පත් වීම

තදින් හිස වැදුණු දරුවෙකු රෝහල් ගත කරන තෙක් ලබාදිය යුතු ප්‍රථමාධාර,

සාමාන්‍ය හිස වැදීමකදී :
  • පිරිසිදු රෙදි කඩකට අයිස් දමා ගෙඩි ගැසුණු පෙදෙස විනාඩි 20 පමණ වරින් වර තැවිය හැකිය. අවශ්‍ය නම් පැය දෙක තුනකට පසු නැවත අයිස් තබන්න.
හිස වැදීමකින් පසු:
  • පැයක් දෙකක් ගත වන තුරු නිදි කරවීමෙන් වළකින්න
  • වමනය/ක්ලාන්තය ඇත්නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න
හිස පැලී තුවාල වී ඇත්නම් :
  • පිරිසිදු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න
  • අයිස් තබා හෝ රුධිර වහනය අවම කරන්න
  • තුවාල තුළ ගල් කැබලි/වීදුරු කටු ඇත්නම් ඒවා ඉවත් කිරීමට යාමෙන් වළකින්න
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.

 

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY