Smartphone එක ඔබ හිතනවාට වඩා ගොඩාක් ඔබේ දරුවාට අහිතකරයි. හේතුව මෙන්න.

මීට දශකයකට පමණ පෙර මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් (Sue Palmer) විසින් සමාජ මාධ්‍ය ජාල වල අහිතකර ප්‍රතිවිපාක ගැන අනාවැකි පල කළා. දැන් ඇය අපි හැමෝටම අලුත් අනතුරු ඇඟවීමක් කරනවා. මේ ලිපිය somedaily.org වෙබ් අඩවියට මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි.


සුපිරි වෙළඳසැලේ ගෙවීම් කවුන්ටරයට ලඟා වූ විටම මා දුටුවේ, ඒ ආසන්නයේම ඇති පැණිරස කෑම ඉල්ලා තම මවට ඇවටිලි කරන කුඩා දැරියකි.

“නැහැ, ඒවා ඔයාගේ දත් වලට නරකයි”

අම්මා එහෙම කියපු සැනින්ම අවුරුදු දෙකක් පමණ වූ මේ කුඩා දැරිය මුළු වෙළඳසැලම දෙවනත් වන හඬින් කෑ ගහලා අඬන්න ගත්තා. අම්මට දැන් හරිම ලැජ්ජයි.
ඊළඟට සිදුවෙච්ච දෙයින් මම පුදුමයට පත්වුනා. ලැජ්ජාවට පත්වෙලා සිටිය මව, කිසිම පැකිලීමකින් තොරව අත් බෑගයට ඇත පොවලා අයගේ iPad එක එලියට ගත්තා. iPad එක පුංචි දැරියගේ අතට දුන්නා විතරයි, ඇඬිල්ල නතර කරපු දැරිය ආයෙත් සුහච කීකරු විදියට නිහඬව සිටියා.
අවුරුදු තුනකට විතර උඩදී සිදුවුණ මේ සිද්ධිය, iPad එකක් දරු නැලවිලි උපකරණයක් හැටියට භාවිතා කරනවා මම දුටු පළමු අවස්ථාව. හැබැයි ඒ අවසාන අවස්ථාව නම් නෙවෙයි. දෙමව්පියන් දහස් ගණනක්, තමන්ගේ හිතේ නිදහස රැක ගන්න කිසිම පැකිලීමකින් තොරව කුඩා ළමුන්ගේ සහ නව යෞවනයන්ගේ අතට smartphones සහ tablet පරිගණක ලබා දෙනවා.

අලුත්ම සමීක්ෂණ දත්ත අනුව බ්‍රිතාන්‍යයේ කුඩා දරුවෙක් දිනකට පැය 5ත්, 6ත් අතර ප්‍රමාණයක් electronic තිරයක් දෙස බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මේ දරුවෝ එක විටම තිර දෙකක් දිහා අවධානය යොමු කරනවා (TV බලන ගමන් smartphone භාවිතය). තාක්ෂනය සීග්‍රයෙන් දියුණු වීමත්, පසුගිය පරම්පරා වලට වඩා වැඩි වේගයකින් දරුවන් තාක්ෂනය හා හුරු වීමත් නිසා මේ ව්‍යසනය තේරුම් ගෙන පාලනය කිරීමට දෙමාපියන්ට ඉතා අසීරු කටයුත්තක් වෙලා තියෙනවා. Electronic තිරයක් ඉදිරි පිට මෙපමණ වෙලාවක් ගත කිරීම නිසා, නව පරම්පරාවේ දරුවන් විද්‍යාගාර පරීක්ෂණයකට යොදා ගන්නා මීයන් පිරිසක් බවට පත්වෙලා තියෙනවා. මොකද, මේ හැසිරීම් වල අතුරු ප්‍රතිපල ගැන තාමත් කිසිම කෙනෙක් දන්නේ නැති නිසා. 2010දී iPad වෙළඳපොළට පැමිණීමටත් පෙර සිටම, ව්‍යායාම වලින් තොර රටාව නිසා දරුවන්ගේ ඇතිවන දුබලතා ගැන වෛද්‍යවරු අනතුරු ඇඟවීම් කර තිබුනා.

තවත් පර්යේෂකයන් කිහිප දෙනෙක් සමග මා කල සමීක්ෂණයකදී හෙළි වුනේ, “අවධාන ඌනතාවය” (attention deficit) සහ “අධි ක්‍රියාකාරීත්වය” (hyperactivity) යන සංකුලතා සඳහා නිර්දේශ කරන රිටාලින් (Ritalin) නම් ඖෂධයේ අලෙවිය වසර දහයක් ඇතුලත හතර ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.අපේ පර්යේෂණ වලින් තවදුරටත් හෙළිවූයේ, දීර්ගකාලීනව electronic තිර හා කාලය ගතකිරීම, ස්ථුලතාවය, නින්ද පිලිබඳ ප්‍රශ්න, අධි ක්‍රියාකාරීත්වය, දුර්වල සමාජ සම්බන්ධතා සහ විශාදය වැනි තත්වයන් කෙරෙහි සෘජු ලෙසම බලපාන බවයි.

අපේ පර්යේෂණයෙන් තවදුරටත් හෙලිවුයේ දරුවන්ගෙන් 10% පමණ නින්දට යාමට පෙර iPad එකක් හෝ smartphone එකක් සමග කාලය ගතකරන බවයි (පරිවර්තකයාගේ සටහන: ලංකාවේදී නම් smartphones බහුලව යොදාගන්නේ කුඩා දරුවන්ට කෑම කවීමේදී සහ, දෙමාපියන්ට නිදහසේ TV බැලීමට අවශ්‍ය වූ විටදීයි).

බොහෝ දෙනෙක් නොදන්නා කරුණ නම්, iPad සහ iPhone වෙළඳපොළට එවන Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කිසිම දිනෙක තමන්ගේ දරුවන්ට කුඩා අවදියේදී iPhone හෝ iPad භාවිතා කිරීමට ඉඩ ලබා නොදුන් බවයි. අනෙක් දෙමාපියන්ගේ සුබ සිද්ධිය සඳහා ඔහු මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුනානම් කොපමණ අගනේදැයි මට හිතෙනවා.

තිරය සමග කාලය ගතකිරීමෙන් සිදුවන මේ සංකුලතා වලට අමතරව, මේ හේතුවෙන් ඔවුන්ට අහිමි වන “නියම ක්‍රීඩා” කිරීමේ අවස්තාව ගැනත් හිතන්න ඕනා.Smartphones වල කාලය ගත කරන මේ දරුවන්ට, හිරු එළියේ ඇඟ වෙහෙසෙන ක්‍රීඩාවක් කිරීමට කිසිම උනන්දුවක් ඇතිවෙන්නේ නැහැ. මෙවැනි ඇඟ වෙහෙසෙන නියම ක්‍රීඩා යනු දරුවන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතු දෙයක් හැටියටයි වෛද්‍යවරු දකින්නේ. එය නින්ද හා ආහාර සේම මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි ඔවුන් පවසන්නේ.

සමාජ සම්බන්ධතා සහ චිත්ත රූප ගොඩනැගීමේ ස්නායු ක්‍රියාකාරීත්වය කුඩා කාලයේම හරි ස්ථාපනය නොවුනොත්, වැඩිහිටි වූ පසු එකී ක්‍රියාකාරකම් සංවර්ධනය කර ගැනීම කෙනෙකුට අපහසු වෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස, තමාගේ වටා ඇති ලෝකය ගැන නිවැරදි චිත්ත රූප ගොඩනගා ගැනීමට නොහැකි, ඒ නිසාම සමාජ සම්බන්ධතා වලදී අතිශය පසුගාමී අනාගත පරම්පරාක්වක් බිහිවීම නොවැලක්විය හැකි කාරණාවක් බවට පත්වෙනවා.

එලි පහලියට බැස ක්‍රීඩා කිරීම, “රඟ දැක්වීමේ ක්‍රීඩා” (pretend play – උදාහරණ ලෙස සෙල්ලම් ගෙවල් කිරීම, හොරා පොලිස් ක්‍රීඩාව) වැනි දේවල් දරුවන්ගේ මානසික වර්ධනයට ඉතාමත් අත්‍යාවශ්‍ය දේවල් ලෙස සැලකෙනවා. මෙවන් ක්‍රීඩා තුලින්, ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ හැකියාව, ගැටුම් මග හැරීමේ හැකියාව, අන් අයගේ සිතැඟි හඳුනාගැනීමේ හැකියාව වැනි අතිශය වැදගත් සමාජ හැකියාවන් දරුවන් තුල වර්ධනය වෙනවා.

ඇමෙරිකානු ළමාරෝග වෛද්‍ය සංගමය පවසන පරිදි වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට electronic තිර කිසි සේත් ලබාදිය නොයුතුයි. ඉන් අනතුරුව, උපරිමය දිනකට පැය දෙකකට යටත්ව දරුවෙකුට තිරයක් සමග ගතකිරීමට දීම සුදුසුයි (TV, Laptop, tablet, smartphone ඇතුළු සියලු තිර සඳහා එකතුව).

(මේ ලිපිය ඔබට උපකාරී වුවා නම් තවත් කෙනෙකුගේ යහපත සඳහා Facebook මගින් මේ ලිපිය share කිරීමට කාරුණික වන්න)

 

 කතුවරිය ගැන


ලිපියේ කතෘ මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර්, පොත්, රුපවාහිනී වැඩසටහන්, සහ වෙනත් ප්‍රකාශන 200කට වඩා අධික ප්‍රමාණයකට දායකවූ ළමා මනෝවිද්‍යාව පිලිබඳ විශේෂග්‍ය වරියකි.

මේ ලිපිය somedaily.org වෙබ් අඩවියට මනෝවෛද්‍ය විද්‍යාඥ සූ පාමර් විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි.

SHARE
අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY