- Advertisement -

මොකද්ද මේ Hand-foot and Mouth Disease කියන්නේ…

-

Hand-foot and Mouth Disease, සිංහලෙන් අත්-පා-මුඛ රෝගය ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය එන්ටෙරෝ වෛරස (Enterovirus) මගින් ඇති වේ. මෙම රෝගය අත් පා මුඛ රෝග ලෙස නම් කර ඇත්තේ එම ස්ථානවල බහුලව මේ තත්ත්වය හටගන්නා නිසාය. සාමාන්‍යයෙන් මෙම වෛරස ආසාදනය දක්නට ලැඛෙන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරය. වැඩිහිටිවියට පත්වීමත් සමගම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සිරුර තුළ සැකසුනත්, කලාතුරකින් වැඩිහිටියන් අතර ද අත් පා මුඛ රෝගය හට ගත හැක.

අත් පා මුඛ රෝග තත්ත්වය ඇති කරන වෛරසයේ බීජෞසන සමය දින 3 – 7ක් අතර කාලයකි. රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ මලපහ/කෙල/සෙම්/සොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ශ්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙනි.

- Advertisement -

අත් පා මුඛ රෝගය වැළදුණු දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක‍ෂණ වන්නේ :


  • තද උණ
  • සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම
  • උගුරේ ආසාදන
  • කෑම අරුචිය
  • දරුවා අලසව/අප්‍රාණිකව කාලය ගත කිරීම

මෙම රෝගි ලක්ෂණ සියල්ල එකවර පෙන්නුම් නොකෙරෙන අතර, සමහර අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වූවත්, එම දරුවාගෙන් තවත් දරුවකුට රෝගය බෝ විය හැක.

දරුවාගේ සිරුරේ දණහිස/වැලමිට/තට්ටම/පිට මෙන්ම උගුර/මුඛය වැනි ස්ථානවල සාමාන්‍යයෙන් මෙම බිබිලි හටගන්නා අතර ඇතැම් විට ඒ බිබිලි මතුවීමට පෙර කුඩා රත්පැහැ බිබිලි සමූහයක් හටගන්නා අවස්ථාද දැකගත හැකිය. මෙසේ ඇති වන බිබිලි තරමක් විශාල වී වතුර බිබිලි බවට පත්වන අතරම දින පහක් හයක අවෑමෙන් පිපිරී ගොස් ඒ මත කබොල්ලක් හටගනී. මෙම බිබිලි වේදනාකාරි නිසා, දරුවාට ආහාරපාන ගැනීමේ අපහසුතා ඇති විය හැක. කෙසේ වුවද ඕනෑම වෛරස රෝගයක් සිරුරෙන්ම ඉවත් යන තුරු කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ උණ සහ සිරුරේ වේදනාව අවම කිරීම සඳහා දරුවාගේ බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමයි.

අත් පා මුඛ රෝගයෙන් පෙලෙන දරුවෙකු : 


  • විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න
  • සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න
  • උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්න.
  • බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්න. ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්න. වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ආලේපනයක් ගැල්වීමේ වරදක් නැත.

මව්පියනි,

මෙවැනි බෝවන රෝගයක් හටගත් ඕනෑම අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විටින් විට අපි ඔබව දැනුවත් කර ඇත්තෙමු. මෙම රෝගය ඉතා ඉක්මනින් බෝ වන බැවින්, එසේ වීම වැලැක්වීමට

  • දරුවා රෝගය සුව වන තුර පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න
  • දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න
  • දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න
  • කිවිසීමේදී ලේන්සුවක් ආධාරයෙන් මුව වසා ගැනීමට දරුවාට කියාදෙන්න.
  • සෙල්ලම් බඩු වැනි දරුවන් නිතර පාවිච්චි කරන භාණ්ඩ රෝගි හා නිරෝගි දරුවන් අතර වෙන් කර තබන්න.
  • නිවසේ අනෙක් දරුවන් වෙන්කොට තැබිය හැකිනම් ඒ පිළිබඳව සැලකිලිමත්වන්න.
  • නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්න.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී , වෛද්‍ය එම්. එන් ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article