කුණුවලට වගකියන ජීවිතවලට වටිනාකමක් දෙමු

collecting_garbage_in_srilanka

කුණු ගේන්නෝ ….  සෑම සතියකම බදාදා දහවල වන විට මේ හඬ කොයි වෙලේ ඇහෙයිදෝ මම බලා සිටින්නෙමි. මන්ද කුණු ලොරිය සාමාන්‍යයෙන් එන දිනය බදාදාය. මේ දිනය එක් එක් සතිවලදී වෙනස් වන නිසාම මාගේ නිවස පිහිටි මාවතේ සැවොම සඳුදා දිනයේම පියන් තදින් වසා කුණු බැරල් ගේට්ටුව අයිනේ තබන්නට මෑතක සිට පුරුදු වී ඇත. කසල වර්ගීකරණය යටතේ කුණු රැගෙන යාමට සිදුව ඇති නිසා ඔවුන් ඇතැම් සතිවල දින දෙකක් පැමිනෙනු ඇත. නිශ්චිත දිනයක් නැති වුවද සතිය ඇතුළත කුණු බරින් අපව නිදහස් කරන්නට කුණු ලොරිය අනිවාර්යෙන්ම පැමිණෙනු ඇත. තාප්පවලින් වට වූ කුඩා බිම් කොටසක වෙසෙන අපට එය සැබවින්ම සුබ දසුනකි. කුඩා දරුවන් වෙසෙන නිවසක දිනකට එකතු වෙන කුණු ප්‍රමාණය කෙතරම්ද යන්න මෙය කියවන ඔබත් අත්දැකීමෙන්ම දන්නා නිසාම ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේ නැත.

මේ පසුගිය මාසයේ එක් බදාදා දිනයකි.

දියණියගේ අසනීප තත්ත්වය මත මා මේ පවසන දිනයේ මට කුණු බැරල් එක තියන්නට අමතක විය. ඇය සමග ඇඳට වී සිටි මට එක්වරම ඇසුණේ, කුණු ගේන්නෝ… යැයි කෑගසන සුපුරුදු හඬමය. මම ඇඳෙන් පැන්න ආකාරය මටවත් මකන නැත. ඒ කුණු දෙන්න බැරි වුණොත් තවත් මේ සතියේ එක්කාසු වූ කුණුවලට අනෙක් සතියේ කුණුත් එක්කාසු වූ පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය දන්නා නිසාය.

“පොඩ්ඩක් ඉන්නෝ….”

“ගේන්න ගේන්න නෝනා… මොකද අද බැරල් එක තියන්න අමතක වුණාද?”

ගේට්ටු පියන ඇර කුණු බැරල් එක එළියට තැබූ මම නැවත ගේ දෙසට හැරෙද්දීම දුටුවේ ලා දුඹුරු පැහැති ප්ලාස්ටික් වැනි ආවරණයකින් ඒ පුද්ගලයාගේ දකුණු අත මැණික් කටුවේ සිට වැලමිට තෙක් ඔතා ඇති ආකාරයයි. මා නැවත ඔහු දෙසට හැරිණි.

“මොකද අතට වුණේ….

අනේ නෝනා වීදුරු කටුවකට කැපුණානේ….

මොනවා කරන්න ගිහින්ද ඔච්චරටම කැපුණේ….

කුණු අස්කරද්දි බිඳිච්ච බෝතලයක් තිබිලා… දැක්කෙ නෑනේ නෝනා…

අය්යෝ…ඇයි ඔයාලා වෙනම නෙවෙයිද වීදුරු කටු දාගන්නේ

අපි නම් වෙනම තමයි දැන්නෙ නෝනා… දාන්න කියලා තියෙන්නෙත් වෙනම

ඒත් මිනිස්සු බෝතල් කටුත් එහෙමම දානවා…මොනවා කරන්නද නෝනා…”

කුණු ලොරිය පසුපස කොටසේ උඩ රැඳී සිටින අනෙක් සගයාට නිවෙස්වල ගේට්ටුව ඉස්සර ඇති කුණු වම් අතින් විසිකරන ඔහු ගැන සැබවින්ම මට ඇති වූයේ අනුකම්පාවකි. ඩෙංගු ගැන සතර අතේ කතා බහට ලක්වේ. වටපිටාවේ පිරිසිඳු බව රැකගන්නට උනන්දු වේ. අපේ ගෙවත්තෙන් පිටකරන කුණු ගෙන යන්නට මොවුන් නොහිටින්නට ඩෙංගු මදුරුවන් බෝ වෙන්නේ අපේ ගේට්ටුව ඉදිරිපිට නොවේදැයි මට සිතුණි. සමහර දිනවල නියමිත රාජකාරිය ඔවුන් මගහරින අවස්ථා ද නැතිවාම නොවේ. ඔවුන්ගෙන් වැරදි සිදුනොවනවාද නොවේත නමුත් ඒත් මිනිසුන්ම කොටසක් නොවේද යන්න මට සිතුණි. මොවුන් ගැනත් සිතන්නට අපට බැරි ඇයි දැයි මට සිතුණි.

උසස් අධ්‍යාපනය තෙක් උගත් අපි, විසි කරන කුණු එක්කාසු කරන ඔවුන් උගත්කමින් අඩු පිරිසක් නිසා එවැනි රැකියාවක නිරත වුණත් ඔවුන්ගෙන් ඉටුවන මෙහෙය විස්තර කළ නොහැකි තරම් වටිනා බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. “කුණු ගේන්නෝ…” යැයි කෑ ගසන ඔවුන්ගේ හඬට ලොකු වටිනාකමක් ඇත්තේ එබැවිනි.  ඔවුන්ගේ  ජීවිතවලටද ඇත්තේ අපේ ජීවිතවලට ඇති වටිනාකමම නොවේද? ඔවුන්ට දුකක් කරදරයක් වූ විට හඩා වැටෙන්නේ තැවෙන්නේ අපි වැනිම බිරින්වදෑවරුන් නොවේද?  ඔවුන්ගේ දරුවන්ට අපේ දරුවන්ට අපි මෙන්ම ඔවුන්ගේ පියා වටින්නේ නොවේද? මේ ජවිතය තුළ උගත්කම, මුල මුදල්, තරාතිරම අනුව මිනිසුන් වර්ග කළ හැකි වුවත් ජීවිතයක වටිනාකම මත මිනිසුන් වර්ග කළ නොහැකිය.

ඒ කුණු අදින එකා.. ඌට මොනවා වුණාම මොකද? මේ අපේ හැඟීම නොවිය යුතුය.

අපි සිතිය යුත්තේ මෙතැන් සිටයි. අපි විසිකරන කුණු එකතු කොට නියමිත තැන්වලට ගෙනියන ඔවුන් සැබවින්ම කරනුයේ පැසුසුමට ලක්විය යුතු රැකියාවකි. “කුණුකාරයා” ඔහුට අයත් විය යුතු ලේබලය නොවේ. අපි ඔවුන්ට සැලකිය යුතු වන්නේ ඔහු කරන මෙහෙයට කෘතඥ වෙමිනි. සැබවින්ම අපිට මෙවැනි අනතුරක් සිදුවුවහොත් පෞද්ගලික රෝහලක හොඳම වෛද්‍යවරයා වෙත යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත්තද මොවුන්ට එවැනි පහසුකම් හෝ හැකියාවක් නොමැත. අන්න ඒ නිසාම අපගේ අතින් ඔවුන්ට සිදුවිය හැකි අනතුරු අවම වන ලෙස කටයුතු කිරීම අපගේ අනිවාර්ය යුතුකමක් බව සිහිතබාගත යුතුය.

කරුණාකර ඔබේ නිවසේ එකතුවන, වීදුරු කටු/කටු සිහිත ගස්වල අතු කැබලි/කැඩුණු පොල්කටු කැබලි/බිදුණු පෝසිසේන් පිඟන් කැබලි/යකඩ ඇණ වැනි ඇනතුරු සිදුවිය හැකි යැයි ඔබට සිතෙන සියලූ දේ වෙන් කර කුණු ලොරියට ලබා දෙන්නට සැලකිලිමත් වන්න. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සියල්ල ඔබට එවැනි ස්ථානයකට ලබාදිය හැකියි. ”කුණුකාරයා” ලෙසින් සමාජගත වූ නාමයේ හිමිකරුවන් වුවද කුණු ඉවත් කරන මිනිසුනගෙන් ඉටුවන මිල කළ නොහැකි සේවාව අගයන්නට නිතැතින්ම අපට සිදුවනු ඇත. ඔවුන්ගේ ජීවිතයටත් වටිනාකමක් ඇති බව අනිවාර්යෙන්ම පිළිගත යුතු කරුණක්ද වේ. අවුරුද්දට ජනවාරි පළමුදාට ඔවුන් සෑම නිවසකින්ම යමත් බලාපොරොත්තු වන බව සැබෑය. ජීවන වියදම පියවා ගැනීමටවත් නොහැකිව දිවි ගෙවන එවැනි මිනිසුන් කොටසක් එසේ බලාපොරොත්තු නොවුණහොත් එය අසාමාන්‍ය යැයිද මට සිතේ. “කුණු අදිනවට උන්ට පඩි ගෙවනවනේ…” මෙය මා බොහෝ සෙයින් අසා ඇත්තකි. එය සැබෑවකි. ඔවුන්ට අමතර සහයෝගයක් ලබාදීම ඔබට අනිවාර්ය කරුණක් නොවේ. ඒත් කුණු කසල ලොරියට දැමීමට පෙර සමාජයේ තවත් පිරිසකගේ ජීවිතවල වටිනාකම වෙනුවෙන් අප සතුව විශාල වගකීමක් ඇති බව සිහිතබා ගැනීම අපි, අපිටම අනිවාර්ය කරගනිමු.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY