දරුවන් ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න පුරුදු කරන්නෙ මේ විදියට

mother and child

මම නම් දරුවන්ගේ වැඩ කටයුතු වලට කිසිම උදව්වක් දෙන්නේ නැහැ….අපි උදව් දෙන්න ගියොත් දරුවෝ කිසිම දවසක ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගන්නේ නැහැ…..එක් අයෙක් එහෙම කියද්දී තවත් කෙනෙක් මේ විදිහට කියනවා….

මං නම් අනේ හරියට උදව් කරනවා. දරුවන්ට ඉතින් අපේ උදව් නැතුව කවුරු උදව් කරන්නද…ඒ තවත් අම්මා කෙනෙකුගේ අදහසයි…

මම හැම දේටම නම් උදව් දෙන්නේ නැහැ…ඒත් බැරි දෙයකට නම් ටිකක් උදව් වෙනවා.

මේ අදහස් අතර ඔබ නවතින්නේ එහෙම නැත්නම් ඔබ දරුවන්ට දක්වන ප්‍රතිචාරය කොහොමද….

දරුවන් කියන්නේ බොහොම අවධානයෙන් වගේම ආරක්ෂාව සහ ආදරය සමග ගොඩ නගා ගත යුතු පිරිසක්. අපි හිතන විදිහට ඔවුන් පාලනය කිරීමට හැකි වුනත් ඒ තත්වය හැම විටම සාධාරණ නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් ඔබ අනුගමනය කරන පිලිවෙත් ගැන විවිධ අධ්‍යනයන් සිදු වෙනවා. ඒ අනුව දරුවන්ට අපි සලකන්නේ කොහොමද යන්න ගැන අලුත් අත්දැකීම් බෙදා හදා ගත හැකියි.ජෙසිකා ලේහෝ කැමැති ගත් කතුවරිය පෙන්වා දෙන්නේ දරුවන් සතුටින් තබන්නට යැයි ඔබ ඔවුන් වෙනුවෙන් සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතු බවයි.

ඉස්සර කාලයේ මව්පියන් මේ අදහස ඉහලින්ම පිලිගත්තා. ඔවුන් නිතරම කියනු ලැබුවේ  දරුවන් කියන කියන විදිහට හැසිරුනොත් ඔවුන් යම් දිනක ඉර හඳ ඉල්ලා සිටියොත් එයත් ලබා දෙන්නනට සිදු වෙන බවයි. අද දෙමව්පියන් මේ තත්වයට මුහුණ දී සිටිනවා.

බොහෝ දරුවන්ට තමන්ගේ නොහැකියාවන් නොපෙන්වා මව්පියන් කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි, බාල වයසේදී දරුවාගේ ඉගෙණුම් කාර්යන්හිදීත් දරුවාට වඩා පංතියේ වැඩ කටයුතු කරන්නේ දෙමව්පියන් විසිනුයි. ඒ නිසා ඇති වෙන අහිතකර තත්වය ගැන දෙමව්පියන්ට අවබෝධයක්ද නැහැ. අද පහ වසර ශීෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසින් හඳුන්වන්නේද ඒ නිසාම බව ඔබට දැන් සිහියට නැගේවි.

මේ කාලයේදී දරුවාට ස්වාධීනව හැසිරෙන්න අවස්ථාවක් නැහැ. ඔවුන්ගේ තර්ක බුද්ධිය අවදි වෙන්නෙත් නැහැ. සමාජය දුවන රැල්ලට දරුවන්ද සමග යන ගමන නිසා දරුවාට  මෙම අභියෝග්‍යතාවය ගැන වැටහීමක් ලැබෙන්නෙත් නැහැ. අපේ රටේ එක් සිද්ධියක් මේ විදිහට පෙන්වන්න පුලුවනි. ඒ සිද්ධිය ඉතාම හොඳින් ජෙසිකා ලේහෝගේ ඉදිරිපත් කිරීම් සමග ගැලපෙනවා.

ඇය කියන්නේ පාසල් වියේ දරුවන් අඩු ලකුණු ගත් විට ඒ ගැන වඩාත් කම්පාවට පත් වෙන දෙමව්පියන් දරුවන් බලහත්කාරයෙන්ම අධ්‍යාපනයට යොමු කිරීම එතරම් ප්‍රඥගෝචර නොවන කටයුත්තක් බවයි. තමන්ගේ නොහැකියාවන් තුළ ඒවා අවබෝධ කර ගෙන දරුවන්ට ඉදිරියට යන්නට මග සලසා දීම වැදගත්. මේ නිසා තමාගේ නොහැකියාවන් ගන අවබෝධයක් ලබා දීම ඉතාම වැදගත්.

දරුවන් නොවැටී සිටිනවාද…එසේත් නැත්නම් වැටි වැටී නැගී සිටනවාද යන්න මුල් කර ගෙන මනෝවිද්‍යාඥ වෙන්ඩ් ග්‍රෝන්ලික්ස් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එහිදී මව්වරුන් සහ දරුවන් කණ්ඩායමක් තෝරා ගෙන මේ දෙපිරසම කාමරයක රදවා ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් වීඩියෝගත කරනු ලැබුවා. යම් යමි ක්‍රියකාරකම් ඉදිරියේ දරුවන් පාලනය කරන සහ සහය දෙන මව්වරුන් හදුනා ගෙන එම හැසිරීම ඉදිරියේ දරුවන්ගේ ප්‍රතිචාර අධ්‍යනය කරනු ලැබුවා. එහිදී වඩාත් පැහැදිලිව පෙනී ගියේ මව්වරුන් විසින් පාලනය කරන ලද දරුවන්ට වඩා  සහය දක්වන ලද දරුවන් යම් සතුටුදායක මට්ටමක සිටි බවයි.

ඇතැම් දරුවන් තමන්ගේ අසීරු ඉලක්කය වෙනුවෙන් කිසිවෙකුගේ හෝ සහය නොලැබෙන බව දැන දැනම අසහනයෙන් පසු වෙන බවත් මනෝවිදයාඥයන්ගේ අදහසයි. ඒ නිසා ඔවුන්ට තනිවම නැගිටන්න යැයි ලබා දෙන උපදෙස් වෙනුවට යම් විදිහකින් අවධානයක් ලබා දෙන්නේ නම් ඉතා වැදගත්. දරුවන්ට කළ නොහැකි දෙයට සහය දෙන්න. එය කළ නොහැක්කක්  බව දරුවාටද ඒත්තු යා යුතුය. එවිට ඔහු වෙනුවෙන් සහය ලබා දෙන්න. එසේ නැතුව නෑ..මං උදව් දන්නේ නැහැ….යන ස්ථාවරයේ සිටීම එතරම් සුබවාදී නැත. ඒ වගේම ඔය වැඩේ ඔයාට කරන්න බැහැ. මං කරල දෙනකම් ඉන්න යැයි දරුවාගේ සහභගිත්වයට සීමාවන් පැනවුනේ නම් දරුවා එතැනින් ඉදිරියටත් තවත් අයෙක් මත රැදෙනවා මිස ස්වාධීනව ඉදිරියට යන හැකියාව ගොඩ නගා ගන්නේද නැත.

දරුවන් තනිව නැගිටිය යුතු බව ඇත්ත. ඒත් ඒ වෙනුවෙන් අත්වාරුවක් අවශ්‍ය වෙනවා. මව්පියන් නැවතිය යුත්තේ එතැනය. අනවශ්‍ය විදිහට දරුවන්ගේ සියලු කටයුතු තමාගේ වගකීමක් ලෙසින් සලකන විට දරුවන් කිසිම දිනක ස්වාධීන ජීවිතයට හුරු නොවනු ඇත. ඒ නිසා නොවැටී සිටින්නට නොව වැටි වැටි නැගිට සිටින්නට හැකියාව ඇති දරුවන් සමාජයට දායාද වන්නේ නම් ඔබ සැබෑම වාසනාවන්ත දෙමව්පියන් වන්‍නෝය.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY