- Advertisement -

මල් කැකුළු පූදින්නට පෙර මිලිනව යන්නට ඉඩ නොතබන්න ….

-

ඈත ආකාසේ පායන දේදුන්නක් දිගේ සුරංගනා ලෝකයට යන්න, කුරුල්ලෙක්ගෙන් පිහාටු ඉල්ලගෙන ඈත ආකාසේ පියාසර කරන්නට පෙරුම් පුරන, මල් වල පාට තවරන අමුත්තා සොයන , ආකාසෙන් මහ වැසි ඇද හැලෙන විට සුරංගනාවන්ට නාඬා ඉන්න ගී ගයන පුංචි හිත් තියෙන දරු පැටවුන් සිත් කොයි තරම් නම් නිර්ව්‍යාජද , අවිහිංසකද? දරුවන් මල් වලට උපමා කර ඇත්තේ ඔවුන්ගේ  ඒ අවිහිංසකත්වය, සුන්දරත්වය හා නිර්ව්‍යාජත්වය නිසාවෙන්මය. දෙමාපියන්ගේ ඒකායන අරමුණ පැහැබර, සුරක්ෂිත අනාගතයක් තම දරුවන්ට ලබා දීමය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම  අන්තර්ජාලය ඔස්සේ අසන්නට දකින ලැබෙන පුවත් හරහා කියැවෙන්නෙ පූදින්නට පෙරම මල් පොහොට්ටු තලා පෙලා දැමු පුවත්ය. මිනිසුන් අතර හිඳින නොමිනිසුන් පිළිබඳ පුංචි පැටවුන්ට අවබෝධයක් නැත. වර්තමානයේ සාහසික මිනිසුන්ගේ දෑත් වලින් මේ අවිහිංසක මල් කැකුළු වල ජීවිතය තීරණය කරන අවස්ථා අපට අසන්නට දකින්නට සිදුවීම අපගේත් අවාසනාවය. ආදරණීය දෙමාපියනි දරුවා සුරක්ෂිත කිරීම ඔබගේ යුතුකම සේම වගකීම බවද සිහියෙහි තබා ගන්න.

තාක්ෂණික දියුණුවත් සමගම සමාජ බැඳීම් වල වටිනාකමක් නොදැනෙන නොහැඟෙන පරිදි මිනිසුන්ද යාන්ත්‍රීකරණය වී ඇත. පියා තමන්ගේම දියණිය, පුතු නොහඳුනන , පුතු මව, තම සහෝදරිය නොහඳුනන සීයා මිනිපිරිය ,මුණුපුරා නොහඳුන සමාජයක පිටස්තරයන් කෙරෙහි කෙසේ නම් විශ්වාසය තබන්නද? දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේදී 95% පමණ සිදුව ඇත්තේ දෙමාපියන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයන් අතින්ම බව ඔබ දන්නවාද? තම හිතවත්ම ඥාතීන් අතින් , සමීපව ආශ්‍රය කරන පියාගේ හෝ මවගේ මිතුරන් හෝ මිතුරියන් අතින් , දරුවා බලා ගැනීමට පැමිණෙන සේවක සේවිකාවගෙන් තමන්ගේ දරුවා අපයෝජනයට ලක් විය හැකිය. ලිංගික වශයෙන් තවත් කෙනෙකු හිංසනයට පත් කරන තැනැත්තා හෝ තැනැත්තිය මානසික රෝගියෙක්ය. එනිසාම වයස, අදාල පුද්ගයා සමග ඇති ඥාතීත්වය පිළිබඳ හැඟීමක් ඔවුන් වෙත නැත.

- Advertisement -
සමීපතයන් අතින්ම පහසුවෙන් දරුවන් අපයෝජනයට ලක් වන්නෙ ඇයි?

පවුලේ සමීපතයන් දරුවන් සුරතල් කිරීම, ඔවුන්ට ආදරය කිරීම, ඔවුන් සමඟ තනිවම කාලය ගත කිරීමට වැනි කාරණා පිළිබඳ දෙමපියන් කිසි විටකත් සැකයක් පහළ නොවීම ප්‍රධාන හේතුවයි. ලිංගික අපයෝජනය පිළිබඳ කිසිත් නොදන්නා දරුවන්ව පහසුවෙන් එම කාර්යයන්ට අවනත කරගෙන ඇබිබැහි කරගැනීමට ඔවුන් සූක්ෂමය.

දරුවා ලිංගිකව අපයෝජනයට ලක්ව ඇති බව දැන ගන්නනේ කෙසේද?

  • සතුටින් සැහැල්ලුවෙන් දවස ගත කල ඔබේ දරුවා අසතුටින් බියෙන් පසු වීම
  • නිතරම කල්පනා කිරීම
  • වෙනදා චකිතයකින් තොරව දොඩමළු  වූ පුද්ගලයන් සමග දොඩළුම වීම ප්‍රතික්ෂේප කිරිම
  • දරුවාගේ ලිංගික ප්‍රදේශ වේදනා සහගත බව පැවසීම
  • දරුවාගේ ශරීරයෙ සීරීම් තැලීම් ලකුණු දක්නට ලැබීම
දරුවන්ට තම පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් ඇත

ළදරුවෙකුට මාස 6 දී පමණ ප්‍රථම වරට තම පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් ජනිත වීම සිදු වේ. ළදරුවා රැක බලා ගන්නා කෙනා තමන් අසල නැති විට ඔවුන් හඬාවැටෙන්නේ මෙම  හැඟීම ජනිත වන නිසාවෙන්ය.එසේම සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, පිඟන් කෝප්ප තමන්ට වෙන් කරගන්න ඔවුන් දිනෙන් දින උත්සුක වේ. සෑම මනුෂ්‍යයෙකුටම පෞද්ගලිකත්වයක් ඇත. තමන්ගේ ශරීරයේ හිමිකාරිත්වය පිළිබඳ සියළුම වගකීම් හිමිවන්නේ තමන්ටමය. මෙය පෞද්ගලිකත්වය බව වටහා ගන්නට තරම් කුඩා දරුවන්ට අවබෝධයක් නැත. එනිසා ඒ බව වටහා දීමේ වගකීම පැවරෙන්නේ දෙමාපියන්ටය.

දරුවාට කියාදෙන්න …

සාමාන්‍යයෙන් වයස අවු. 2 ක් 2 ½ පමණ වන විට දරුවන්ට යමක් අවබෝධ කරවීමේ හැකියාව පවතී. බොහෝ විට දරුවන් සමග කාලය ගත කරන්නේ මවය. එනිසා දරුවාට  දරුවාගේ ශරීරයේ වටිනාකම කියා දෙන්නට මවට හැකිය. මේ සඳහා සුදුසු වෙලාව ලෙස දරුවා නෑවීම, ඇඟ සේදීම වැනි කාර්යයක් කරන අවස්ථා තෝරාගන්න.

“පුතේ මේ ඇඟ අයිති ඔයාට විතරමයි. අම්මා තාත්තා ආච්චි අම්මා ඇරෙන්න ඔයාගේ ඇඟ අත ගාන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා. අපි ඇඳුම් අඳින්නේ ලැජ්ජ නිසානේ. ඒක නිසා ඔයාගේ ඇඳුම් කාටවත්ම ගලවන්න දෙන්න එපා. ඉතිං කවුරු හරි ඔයාගේ ඇඳුම් අයින් කරන්නේ ඔයාට රිද්දන්න වෙන්නත් පුළුවන්. පුතාගේ මේ චූ දාන පැත්ත කක්කි දාන පැත්ත කාටත්ම අල්ලන්න දෙන්න එපා. එහෙම ඇල්ලුවොත් මගෙ පැටියා අම්මට කියන්න. නරක මාමාමලා ,නැන්දලා ,අයියලා ,අක්කලා පුංචි ළමයින්ව බය කරලා නරක වැඩ කරනවා. ඒක නිසා කිසිම වෙලාවක එයාලට බයේ එයාලා කරන නරක දේවල් අම්මට කියන්නෙ නැතිව ඉන්න එපා. ඔයාව බලාගන්න අම්ම ඉන්න නිසා කාටත්ම බය වෙන්න එපා.”

මේ ආකාරයට සරලව දරුවාට තම ස්වයං ආරක්‍ෂාව පිළිබඳ වැටහීමක් වගේම මවගේ රැකවරණය පිළබඳව විශ්වාසයත් ඇති කරවන්න. සතියකට වරක්වත් දරුවන්ට මේ සරල පැහැදිලි කිරීම සිදු කිරීම තුලින් දරුවන්ට තම ආරක්‍ෂාව පිළිබඳ හැඟීමක් ඇති වනු ඇත.

මේ ගැනත් සිතන්න…

  • ඇතැම් විට දරුවා අපයෝජනයට ලක් කරන තැනැත්තා දරුවාට ඉතා කුළුපගුය.පවුලට වඩාත් හිතවතුන් වුවද ඔවුන්ගෙන් දරුවාට අතවරයක් සිදු විය හැකි බැවින් ඔවුන් සමග දරුවා තනි නොකරන්නත් නිරන්තරයෙන්ම ඔබේ අවධානය යොමු කරන්නත් අමතක නොකරන්න.
  • දෙමාපියන් වශයෙන් දරුවන්ට බෙහෙවින් ලං විය යුතුය. කුඩා කළ පුංචි පැටවුන් අතොරක් නැතිව ගිරවුන් සේ කියවයි. ඔවුන්ට ඇහුම් කන් නොදුන්නහොත් තව දුරටත් ඔවුන් ඔබ හා දොඩම`ඵ වීම ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා සෑම විටම දරුවාට ඇහුම්කන් දෙමින් දරුවා සමග ඉතාමත් සමීප සබඳතාවක් ගොඩනගා ගැනීම ඔබට ඉතා වාසිදායකය. මන්ද ඔවුන් වයසින් මුහුකුරා යන විටද ඔවුන්ගේ දවසේ සිදු වූ සියළු තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම ඔබ හමුවේ සුහදශීලීව ප්‍රකාශයට පත් කරන නිසාවෙන්ය. දරුවන් දෙමාපියන්ට විවෘත හා සුහදශීලී වීම තුලින් දරුවාට ලිංගික අපයෝජනය සිදු වීමට පෙර මවට හෝ පියාට ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක්  ගත හැකි නිසා තම දරුවා බේරා ගැනීමටත් හැකියාව ලැබේ.
  • දරුවන් අපයෝජනයට ලක් කරන පුද්ගලයන් දරුවා බියට පත් කිරීම තුලින් බිය නිසාම දරුවා ඒ පිළිබඳ කිසිවෙකුටත් ප්‍රකාශ කිරීමට මැලිවේ. දරුවාට මරණීය තර්ජන හෝ දෙමාපියන්ට මරණීය තර්ජන කර පුංචි සිත් බියවද්දා තම මනදොල සපුරාගැනීමට කාමාතුරයින් සූක්‍ෂමය. තමන්ට කවරෙකුගෙන් හෝ හිංසනයක් වේ නම් වහාම තමන්ට පවසන ලෙසත් එසේ තර්ජනය කිරීමෙන් දරුවාට  හිංසනයක් කළ හැක්කේ දරුවන් නිවසේ වැඩිහිටියන් දැනුවත් නොකළහොත් පමණක් බවත් දරුවාට ප්‍රත්‍යක්‍ෂ කිරීම ඉතා වැදගත්.
  • කිසි විටකත් නාඳුනන පුද්ගලයන් සමඟ කතාබහ නොකරන ලෙසත් ඔවුන් දෙන යම් යම් දේවල් නොගන්නා ලෙසත් ඔවුන් සමග යන්නට කතා කළ හොත් නොයන ලෙසටත් දරුවා කල්තියාම දැනුවත් කර තබන්න.
  • ලිංගික අපයෝජනය, හිංසනය පිළිබඳ දරුවන්ට අවබෝධයක් නොමැත. එහෙයින් ඇතැම් විට දරුවන් දෙමාපියන්ගෙන් බැනුම් ඇසීමට සිදුවේයැයි සිතා හෝ මේවා සාමාන්‍ය දේවල් යැයි හෝ සිතා සිටීම තුලින් දරුවා දීර්ඝ කාලීනව අපයෝජනයට භාජනය වීමට ඉඩකඩ පවතී.
  • නිවසට පැමිණෙන නෑදෑ හිතුවතුන් පිළිබඳ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. ඔබ කාමාතුරයා සැක නොකරන තරමට ඔහුට මල් කැකුළු තලා පෙලා දමන්නට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සහ කරනු ඇත. දරුවන් තමන්ගේ උකුල මත තබාගෙන සුරතල් කරන ගමන් දරුවාගේ ශරීරය ස්පර්ශ කරමින් තෘප්තියක් ලබාගන්නා ඇතැම් කාමාතුරයන් දරුවාට එය සාමාන්‍ය දෙයක් බව ඒත්තු ගන්වමින් දරුවා එම කාර්යයන් සඳහා නැඹුරු කරගැනීමට ද හැකිය.
  • කුඩා පාසල් දරුවන් ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් අපයෝජනයට ලක් වූ තත්ත්වයන් බොහෝමයක්  මෑත කාලය තුල වාර්තා විය. එහිදී දරුවන්ට ඇසැබි දර්ශන පෙන්වා දරුවන් ලවා තම ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරවා ගැනීම, දරුවන්ගේ ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරමින් වින්දනයක් ලබා ගැනීම ආදී ලෙස මෙන්ම දරුවන්ව සංසර්ගය සඳහා යොදා ගැනීමත් සිදු වූ බව මාධ්‍ය මඟින් ප්‍රචාරයට පත්විය. වයස අවු. 16 අඩු දරුවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ක්‍රියාකරකම් වල යෙදෙනවා නම් එය නීතිය හඳුන්වන්නේ දූෂණයක් ලෙසටය.
  • දරුවන් දරුවන් අතරද ලිංගික අපයෝජනයන් සිදු විය හැකියි. බොහෝ පාසල් වල පිළිලයක් සේ සම ලිංගිකත්වය ව්‍යාප්තව ඇත. දරුවා ආශ්‍රය කරන යහළු යෙහෙළියන් පිළිබඳ, දරුවාගේ හැසීරීම් පිළිබඳ මනා අවබෝධයකින් පසු වීම ඔබ අතින් සිදු විය යුතුය. දරුවාට තෑගි බෝග ලබාදෙන පුද්ගලයන් පිළිබඳ පුළුල් අවධානයෙන් සිටිය යුතුය. විරුද්ධ ලිංගිකයන් අතින් මෙන්ම සම ලිංගිකයන් අතින් ද දරුවාට ලිංගික හිරිහැර හෝ අපයෝජන සිදු විය හැකි බව තරයේ සිහි තබා ගන්න.
  • බොහෝ විට මවත් පියාත් රැකියාවක නිරත වන විට දරුවා ගෘහ සේවිකාවකගේ රැකවරණයට පත් කරයි. ඇතැම් සේවිකාවන් අත දරුවන්ගෙන් පවා වින්දනයක් ලබා ගනියි.  එනිසා තම දරුවාගේ සුරක්ෂිතබාවය තහවුරු කරන්න.
  • අනවශ්‍ය ලෙස යම් කෙනෙකු දරුවාගේ ලිංගික ප්‍රදේශ ස්පර්ශ කරන විට දරුවාට එය එපා කියා ප්‍රතික්ෂේප කරන්නටත් නැතහොත් කෑ ගසා අවටින් උදව් ලබා ගන්නටත් දැනුවත් කොට තිබීම ඉතා වැදගත්ය. දරුවාට උපක්‍රමශීලීව කටයුතු කරන්නට කියාදීමත් දරුවාට ළමා අපයෝජනයෙන් මිදී යාමට මහඟු අත්වැලකි. නමුත් මෙවැනි උපක්‍රමශීලී කටයුතු කරන්නට වයස අවු.12 පමණවත් විය යුතුය.
  • බස් රථ වල ගමන් කිරීමේදී දරුවා නාඳුන ළඟින් හිඳුවා ගන්නට ඉඩනොතබන්න.එසේම  දරුවා තනි නොකරන්නත් වග බලා ගන්න.

වැඩිහිටියන් දරුවන්ට සලසන රැකවරණය තුල යම් හිඩසැක් මතු වූ සැනින් දරුවන්ට විය හැකි හානිය අතිමහත්ය.මල් කැකුළු තැලී පොඩීවී ගිය පසු හඬා දොඩා පලක් නැත. මල් කැකුළු  තැලී පොඩීවී යන්නට මත්තෙන් නිරන්තරයෙන්ම දෑස් මෙන් රැක බලා ගත යුතුය. එහි පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන අපටමය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article