- Advertisement -

ඔබේ සැමියා විදෙස් ගත වෙලාද ?

-

ජීවිතේ කියන්නේ ලේසී පහසු දෙයක් නම් නොවේ. අපේ ජීවිත වල සල්ලි වලට තියෙන්නේ ලොකු ඉඩක්නෙ. සල්ලි නැත්නම් සතුටින් ඉන්න පුලුවන්ද? මම නම් කියන්නෙ බැහැ කියලා. ජීවිතේම සල්ලි නොවුනට ජීවත් වෙන්න සල්ලි ඕනිමයි. මොකද කෑම බීම, ඉඳුම් හිටුම්, දරුවන්ගේ අධ්‍යාපනයට, විනෝදය  මේ හැම දේටම සල්ලි අත්‍යාවශ්‍යයි. ඒත් අපි හැමෝම ආර්ථික අතින් ශක්තිමත් නැහැනේ. තමන්ටම කියලා ගෙයක් දොරක් හදා ගන්න, වාහනයක් ගන්න, තමන් දැන් ගත කරන ජීවිතයෙන් ඉහළට නගින්නට නම් ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් තිබිය යුතුයි. අන්න ඒ නිසාම බොහෝ දෙනා රට රැකියාවක් කරන්නට පෙළඹෙනවා. කාන්තාවන් වගේම පුරුෂ පාර්ශවයත් තමන්ගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් විදේශ ගත වෙනවා. ස්වාමියා විදේශගත වු පසු බිරින්දෑවරුන් පිළිබඳ ලියන්නට සිතුවෙ වැඩියෙන්ම කාන්තා පාර්ශවය වටා රොක්වෙලා ඉන්න නිසයි.

බොහෝ විට විදේශ රැකියාවන් වෙත යොමු වන්නේ අපේ රට තුල සැලකිය යුතු ආදායමක් ලබා ගත නොහැකි නිසානේ. පවුලේ සියලුම දෙනාගෙන් සමුගෙන විදේශගත වන ස්වාමිපුරුෂයා  ඇතැම් විට විදේශ රටක රැකියාවට යොමු වන්නේ තම අධ්‍යපනය උගත්කම පසෙකලා වන්නට පුළුවන.  ඇතැම් විට ඒ බව තම බිරිඳටවත් නොකියා තමන් කරන රැකියාවට අමතරව තම විවේකී කාලයේදී අර්ධ කාලීන රැකියා කරන්නත් උත්සහා කරනවා. ඒ තම පවුලේ සුභ සිද්ධිය උදෙසාය.

- Advertisement -

මාසය අවසානයේ බිරිඳ වෙත එවන මුදලෙහි ඇත්තේ ඔහුගේ වෙහෙස මහන්සියයි. එනිසා මෙරට සිටින බිරිඳ කලයුත්තේ සැමියා උපයා එවන මුදලින් පවුලේ සුභ සිද්ධිය සඳහා කටයුතු කිරීමය. සාමාන්‍යයෙන් අපට දෙයක් වැඩිපුර ලැබෙන විට එහි අගයක් නැත. අගහිඟ කම් තිබූ නිවසෙහි අග හිඟකම් පහව යන විට ඔබටත් නොදැනුවත්වම අනවශ්‍ය වියදම් වෙත ඔබ යොමු වනු ඇත.මා මේ ලියන්නට යන කතාව සත්‍ය කතාවකි.

නිරාෂාත් ප්‍රභාතුත් හමු වුයේ ඔවුන් සේවය කළ නිමි ඇඳුම් ප්‍රදර්ශනාරයේදීය. විවාහයෙන් පසු කුඩා කුලී කාමරයකින්  ජීවිතය අලුතින් ආරම්භ කළ ඔවුන් දෙදෙනා සතුටින් ජීවත් විය. කාලය සෙමෙන් ගලා යද්දි තමන්ටම කියා නිවහනක් තනා ගන්නට, ඔවුන්ගේ සිහින හැබෑ කරගන්නට විදෙස් ගත වන්නට ඔවුන් දෙදෙනා තීරණය කලාය. ඉංග්‍රීසී භාෂාව හොඳින් හැසිරවිය හැකි නිසා පහසුවෙන්ම ප්‍රභාත්ට මැද පෙරදිග ප්‍රදර්ශනාගාරයක රැකියාවක් සොයා දුන්නේ මැද පෙරදිග සේවය කරන ඔහුගේම මවයි. ප්‍රභාත් නිරාෂාගෙන් සමු ගත්තේ නිරාෂාටද රැකියා අවස්ථාවක් සොයා දෙන පොරොන්දුව මතය. එහෙත් නිරාෂා මවක් වී ඇතැයි දැන ගත්තේ ප්‍රභාත් විදේශ ගතව සති දෙකට පමණ පසුය. වසරකට තෙවරක් ප්‍රභාත් මෙරටට පැමිණෙයි. වසරකට වරක් නිරාෂාත් පුතාත් ප්‍රභාත් වෙත යයි.

ප්‍රභාත් සෑම මසක් අවසානයේම නිරාෂාට මුදල් එවයි. නැති බැරිකම් මග හැරෙද්දි නිරාෂාගේද පැවැත්ම වෙනස් විය. නිරාෂා තමන්ගේ අවශ්‍යතාවයටත් වඩා ඉඩ කඩ සහිත නිවසක් කුලියට ගත්තේ ඊට වඩා අඩු මුදලකට නිවසක් කුලියට ගැනීමට හැකියාව තිබියදීමය. පයින් යාහැකි දුරත් ඇය ගමන් කලේ ත්‍රී රෝද රථයේය. පුතාගේත් ඇයගේත් ඇඳුම් පැළඳුම් සඳහාද මාසිකව සැලකිය යුතු මුදලක් ඇය වැය කලාය. පුතාගේ උපන් දින සාදය , නත්තල් උත්සව ප්‍රභාත් මෙරටට එන සෑම විටම සාද පැවැත්වීමටත් යහළු යෙහෙළියන්ගේ සාද සඳහාද  නිතර නිතර මුදල් වැය කරන්නටත් ඇය දෙවරක් නොසිතුවාය. කෙසේ වෙතත් පුතාට වසර පහක් සපිරෙන විට නිරාෂා නැවත මවක් වන ලකුණු පල කලාය. වසර පහක් පුරාවට ආදරයෙන් සිටි ප්‍රභාත් වෙනස් වන්නට ගත්තේ එතැන්සිටය. නිරාෂාට වෙනදා මෙන් මුදල් එවනවා වෙනුවට අවශ්‍යතාවයට පමණක් මුදල් එවීය. කාලය ගතවද්දී ඔවුන්ගේ සබඳතාවය බෙහෙවින් දුරස්ථ විය. අවසන ඇයට සිදු වුයේ දරු දෙදෙනාත් සමඟ තනි වන්නටය. ප්‍රභාත්  වෙනත් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වන බව දැන ගන්නට ලැබීමෙන් නිරාෂා කායිකව මෙන්ම මානසිකවද ඇද වැටුනාය. අවසානයේ නිරාෂාගේ යෙහෙළියක් ප්‍රභාත් සමඟ කතා කරන්නට තීරණය කලේ තව දුරටත් තම යෙහෙළිය දුක් විඳිනවා බලා සිටින්නට නොහැකි නිසා වෙන්මය.

“ඇයි ප්‍රභාත් මේ වගේ පව්කාර වැඩක් කරන්නේ? අර දරුවො දෙන්නා ගැනවත් හිතලා තීරණ ගත්තොත් නේද හොඳ?”

“මම දරුවන්ට ජීවත් වෙන්න සල්ලි යවනවා?”

“සල්ලි විතරක් යැව්වම ඇතිද ඒ දරුවන්ට තාත්තා කෙනෙක් ඕනී නේද? නිරාෂා කවදාවත් වැරදි වැඩක් කලේ නැහැ. ඉතින් ඇයි මේ ඒ අහිංසකීට මෙහෙම කරන්නේ?”

“ඔයා දන්නවද මම මෙහෙ ඉඳලා මොනවද කලේ කියලා. මට ඕනී වුණේ අපේම කියලා ගෙයක් දොරක් හදාගෙන දියුණු වෙන්න. ඒ වෙනුවෙන් මම කොච්චර මහන්සි වුණාද? මම ෂොප් එකේ වැඩ ඉවර කරලා හොටෙල් එකක පිඟන් හෝදන්නත් ගියා.ඒ පුළුවන්  තරම් ඉක්මණට ලංකාවට එන්න ඕනී නිසා. මගේ කෑම බීම වලට තියාගෙන ඉතිරි සල්ලි සේරම මම එව්වෙ නිරාෂට. ඒත් අවුරුදු පහක් මම හම්බ කරලා එව්වත් තවම අපිට කියලා ගෙයක් හදා ගන්න බැරි වුණා. ගෙවන්න ගත්ත ඉඩම විතරයි තියෙන්නෙ.ඉතින් ඇයි මම මෙහෙ මෙහෙම නැහෙන්නෙ කියලා මටම හිතුනා. මම නිතරම කිව්වා අනවශ්‍ය වියදම් අඩු කරලා ඉතිරි කරන්න කියලා. ඒත් එහෙම සිද්ධ වුණේ නැහැ. අංජලී මම වැඩ කරන තැනම කෙනෙක්. එයා මගේ හොඳ යාළුවෙක්.  ඉතින් මගේ හැම ප්‍රශ්නෙම මම එයාට කියනවා. එයා මට කිව්වා මගේ පඩිය කළමණාකරණය කරගන්න හැටි. ඇත්තට දැන් මගේ ළග ගෙයක් හදා ගන්න පුළුවන් තරමට සල්ලි තියෙනවා. මට අංජලී ගැන තිබුණු පැහැදීම වැඩි වෙන්න වැඩි වෙන්න මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා. මටත් මේ වගේ සකසුරුවම් බිරිඳක් හිටිය නම් කොයි තරම් දියුණු වෙන්න පුළුවන්ද කියලා හිතුනා. කොහොම හරි අපි අතර ප්‍රේම සම්බන්දතාවයක් ඇති වුණා. ඇත්තටම නිරාෂා මුල ඉඳලම අපේ දියුණුව ගැන හිතලා කටයුතු කලා නම් මෙහෙම වෙන්නෙ නැහැ. කොහොම වුණත් තව අවුරුදු දෙකකින් මම ලංකාවට එනවා. අංජලීගේත් මගෙත් සම්බන්ධය නතර කරන්න අපි දෙන්නම තීරණය කලා. මොකද එයත් දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් නිසා”

ඔබට මේ කතාව කියවාගෙන යද්දි සිතුනෙ කුමක්ද? වරද කාගේ කියලද? සෑම පිරිමියෙක්ම තමන්ගේ බිරිඳගෙන් බලාපොරොත්තු වන සකුසුරුවම, දුර දිග බලා කටයුතු කිරීම පවුලේ අභිවෘද්ධිය නිරාෂා සතුව පැවතියේ නම් ප්‍රභාත්ට තම ගැටළු තුන්වන පාර්ශවයකට පැවසීමටත් ලං වන්නටත් අවශ්‍ය නොවන්නට ඉඩ තිබුණී. එහෙයින් ආදරණීය සොයුරියනි ඔබේ සැමියා විදෙස් ගතව සිටී  ඔබටත් මේ කතාවෙන් සිතට ගත යුත්තක් ඉතිරි වනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article