- Advertisement -

අලුත විවාහ වූ ඔබ ඊළගට කළ යුතු දේ දන්නවාද ?

-

විවාහක යුවලකගේ ඊළඟ සිහිනය තම පවුලට පුංචි කිරි කැටියකු කැන්දාගෙන ඒමය. ඒ සිහිනය කල එලි කරන්නට ඔබට මෙම උපදෙස් වටිනු ඇත.

විවාහ වූ අලුතම තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචිවන්න

අපේ රටේ සියලුම සෑම ප්‍රදේශයකටම පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පත් කර තිබෙනවා. එනිසා ඔබත් විවාහ වූ අලුතම ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචි වන්න. එවිට ඔබට ගර්භණීත්වයට පෙරම සිටම දැනුවත් වීමේ හැකියාව ලැබේ.

- Advertisement -
ෆෝලික් අම්ලය ලබා ගන්න

දරුවකුගේ ස්නායු පද්ධතියේ වර්ධනයට ෆෝලික් ඇසිඞ් අත්‍යවශ්‍ය වේ. කළලයේ ස්නායු වර්ධනය ආරම්භ වන්නේ ගර්භණීත්වයේ මුල් සති කිහිපයේ සිටමය. බොහෝ විට කාන්තාවක් ගැබ් ගෙනඇති බව දැන ගන්නේ සති පහක් හයක් පමණ ගත වූ පසුය. එනිසා දරුවකු අපේක්ෂා කරන කාන්තාවක් ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටවත් ෆෝලික් ඇසිඞ් 1 mg  ක් පෙත්තක් වශයෙන් ගැනීම වැදගත්ය. එවිට දරුවා පිළිසිඳ ගත් දා සිටම ස්නායු පද්ධතියේ වර්ධනය නිසියාකාරව සිදුවේ. රනිල කුලයේ මුං ඇට, කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග වලින් මෙන්ම එලවළු  පළතුරු වලින්ද ස්වභාවිකව ශරීරයට අවශ්‍ය ෆෝලික් ඇසිඞ් ලබා ගතහැකිය.

ඔබගේ පෝෂණය පිළිබඳ අවදානය යොමු කරන්න

ගර්භණී වීමෙන් පසු නීරෝගී බව පවත්වා ගැනීමට පෙර සූදානමක් තිබිම ඉතා වැදගත්. ගර්භණී සමයේ පෝෂණය මෙන්ම ගර්භණීවීමට ප්‍රථමව ඇයගේ පෝෂණයත් ගර්භණී සමය පුරාවට මවකගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි සෘජුවම බලපායී. ගර්භණී වීමට ප්‍රථමව අඩු බරක් තිබූ මවක් නම් ඇයට ගර්භණී සමය තුල නියමිත බර කරා ළඟාවීමට නොහැකි වීම තුලින් දරුවා අඩු බරක් සහිත නොමේරූ දරුවකු වීමේ අවදානමක් ඇත. එසේම ගර්භණී වීමට ප්‍රථමව අධි බරක් ඇති මවක් නම් ඇය ගර්භණී සමයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇය මෙන්ම දරුවාද විවිධ සංකූලතාවයන්ට ගොදුරු විය හැකිය. එනිසා ගර්භණීත්වය පෙර සිටම නිසි උසට සරිලන බරක් පවත්වාගෙන යාම ඉතා වැදගත්ය.

ඔබේ ඔසප්වීම පිළිබඳ අවදානයෙන් සිටින්න

ඔබගේ ඔසප්වීම නියමිත කාලවකවානුවට සිදු නොවුනා නම් ගර්භණි පරීක්ෂණය සිදු කරන්න. ඔබ පරික්ෂාවට ලබා ගත යුත්තේ උදෑසන හිස්බඩ පිටකරන මුත්‍රා සාම්පලයකි. එයට හේතුව උදෑසන හිස්බඩ පිටකරන මුත්‍රා සාම්පලයක සාන්ද්‍රණය උපරිමව ඇති නිසාවෙන්ය. මෙසේ ලබා ගත් මුත්‍රා සාම්පලය වෛද්‍ය රසායනාගාරයකට ලබා දී පරික්ෂා කරවා ගත හැකිය. නැතහොත් වෙළෙඳ පොලේ තමන්ටම තනිවම ගර්භණීත්වය පරික්ෂා කර ගත හැකි අයුරින් සකස් කර ඇති කූරක් භාවිත කළ හැකිය.

ඔබ ගැබ් ගෙන ඇත්නම් ඒ බව පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දෙන්න

ඔබ ගැබ් ගෙන ඇත්නම් ඒ බව පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දුන් පසු ඇය ඔබව සායනයට යොමු කරනු ඇත. ඒ අනුව ගර්භණී කාලය පුරාවටත් දරු ප්‍රසූතියෙන් පසු සේවාවන්ද ඔබට ලබාගත හැකිය.ඔබව සායනයට යොමු කල පසු සායනයේ වෛද්‍යවරයාට සියළු දත්ත ලබා දෙන්න.

සායනයේදී ඔබ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හා වෛද්‍යවරයාට සැපයීය යුතු තොරතුරු

ඔබට ඔසප් වුනු අවසාන දිනය – ඔබේ අවසාන ඔසප් දිනය නිවැරදිව  දැන ගැනීමෙන් ඔබගේ දරු ප්‍රසුතිය සිදු වන දිනය ගණනය කිරීම පහසු වේ.

උපත් පාලන භාවිතා කලේ නම්, සරු බාවය වැඩි කිරීමට අවශ්‍ය ඖෂධ භාවිතා කලේනම්, විශේෂ ඖෂධ භාවිතා කලේ නම්, ඒ පිළිබද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හා වෛද්‍යවරයා දැනුවත් කරන්න.

මෙයට පෙර ගබ්සා වීම් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න

ඔබට හා ඔබේ සහකරුට ඇති  රෝගී තත්ත්වයන් මෙන්ම ඔබගේ හා ඔබේ සහකරුගේ දෙමාපියන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳවද දැනුවත්වී සිටින්න.

ඔබ දැනටමත් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්නවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න.

වෛද්‍යවරයෙකු තෝරා ගැනීම

ඔබ දරු ප්‍රසූතියට යාමට බලාපොරොත්තු වන රෝහලේ ලියාපදිංචි වන්න. ඔබේ කැමැත්ත අනුව ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුණ ගැසිය හැකිය. ඔබ දැනටමත් කෙනෙකු තීරණය කර තිබෙන්නට පුළුවන. ඔබ එසේ කිසිවෙකු තීරණය කර නැත්නම් ඔබ කැමති රෝහලට ගොස් ඒ වන විට රාජකාරියේ යෙදෙන වෛද්‍යවරයා මුණ ගැසෙන්න. ඔබට කිසියම් බරපතල වෛද්‍ය ගැටළු හෝ සංකුලතාවයන් පවතින්නේ නම් ඔබ තෝරා ගන්නා ලද වෛද්‍යවරයා විසින් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ඇත. එවිට ගර්භණි සමය තුල ඔබව වෛද්‍යවරුන් දෙදෙනාගේම අධීක්ෂණය යටතට පත්වනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article