- Advertisement -

දරුවන්ට බනින්න විශේෂණ එපා

-

දරුවන්ට බනින්න ගියාම අම්මා තාත්තා වුනත් සීමාව පනින විදිහට වචන හසුරුවනවා. සමහර අවස්ථාවලදී මේ වෙනුවෙන් පිටකරන වචන දෙමව්පියන්ගේ කටට ආවාට නිකුත් කළත් ඒවායෙන් දරුවාගේ මනසට සිද්ධ වෙන බලපෑම සුලුපටු නැහැ.

මොනවද මේ වචන

සමහර දෙමව්පියන්ට තමන්ගේ ශබ්ද කෝෂයේ පාලනයක් ඇත්තේම නැහැ. ගොනා, බූරුවා, කාලකන්ණියා , මූසලයා මේ වගේ වචන වලින් දරුවාට  තමන්ගේ කෝපය පිටකරවනවා.

- Advertisement -
ඉතින් දරුවා බූරුවෙක් නොවෙයි නේ,

සමහර විට ඔබත් මේ විදිහට හිතනවා ඇති. අපි අම්මා තාත්තා විදිහට දරුවන්ට මොන තරම් ආදරෙයිද…? මේ වචන ඉතින් කියන්නේ කටට ආවාට මිසක දරුවන් ගැන වෛරයකින් ක්‍රෝධයකින් නොවෙයිනේ…ඒ වගේම මව්පියන් වුනත් වචන පිටකරන්නේ ඒවා අන්වර්ථ නිසාම නොවෙයි. ඒ වුනත් මේ වගේ අවතක්සේරු වචන නිසා දරුවාගේ පෞරෂයටත් විශාල බලපෑමක් ඇති වෙනවා.

තමා ගැන අවතක්සේරුවක් ඇති වෙනවා

දරුවන්ගේ ලෝකයේ සිටින වැදගත්ම චරිතයන් වන්නේ තමන්ගේ අම්මායි තාත්තයි. පවුල තුල හැසිරෙන විට දරුවාගේ සුවිශේෂී ආරක්ෂකයන් වන්නේ මේ දෙදෙනා බව ඔවුන් හිතනවා. ඒත් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව වගේ…අම්මා තාත්තා මේ විදිහට අවතක්සේරුවක් දරුවාට ලබා දෙනවා නම් ඔවුන්ද තමා මුල් කර ගෙන ඒ විදිහට හිතන එකෙත් ඇති වැරැද්දක් නැහැ.

ආත්මානුකම්පාව

පුංචි දරුවන්ගේ ලෝකයේ සිටින ආරක්ෂකයා වන්නේ දෙමව්පියන් පමනයි. මේ නිසා ජීවිතයේ ශක්තිය ගොඩ නැගෙන්නේ මේ සෙවනේදී බව ඔබ අමතක කරන්න එපා. ඒ නිසාදරුවන්ට ඉතාම ලයාන්විතව ආමන්ත්‍රනය කරන්න. එහෙම නැතුව බෙලිකටු මල්ල හොලවනවා වගේ උදේ දවල් රැය නැතුව නැගෙන කටුක කඨෝර වචන නිසා දරුවාගේ හිතේ ඇති වෙන සංකල්පයන් ඒ තරම් සුබවාදි නැහැ. අනේ මට අම්මා තාත්තා මේ විදිහට අපහාස කරන්නේ ඇයි යන ගැටුම නිතරම හිතට වද දෙනවා. මේ වචන එන්නේ හදවතින්ම නොවන බව දරුවාට තේරෙන්නේ නැහැ. ඒත් මේ වචනවලින් නැගෙන දරුණු බව ඔහුගේ හදවතට වධයක් වෙනවා.

ආත්මාභිමානයට බලපානවා

තමා මුල් කර ගත් අභිමානයක් හැම කෙනෙකුටම තිබෙනවා. මේ තත්වය නිසා අනාගතයේදී විශේෂ හැකියාවන් වර්ධනය වෙනවා. ඒත් මෝඩයා යනුවෙන් දරුවා ආමන්ත්‍රනය කළ විට එතැනින්ම ඔහුගේ ඉදිරි ගමන අවසානයි.

ගුරුවරුන්ද මේ ගැන දැනගත්තොත් හොඳයි

සමහර අවස්ථාවල ගුරුවරුන්ගේ වචනත් දරුවන්ට ඉතාම තදබල විදිහට බලපාන්න පුලුවන්. දරුවෙක් මුල් කර ගෙන වර්තමානයෙන් තක්සේරු කරන්න බැහැ. තෝමස් අල්වා එඩිසන් පංතියේ දුර්වල දරුවෙක් වුන නිසාම ඔහුගේ ගුරුවරයා තම මවට ලිපියකින් මේ විදිහට ලියා යැව්වා.

” ඔබේ මේ බල්ලා ගෙදර බැඳගනින්…” පුංචි තෝමස් අම්මාට මේ ලිපිය ගිහින් දුන්නා. පහුවදා පටන් තෝමස් පාසලට යැව්වේ නැතැත් අම්මා පුද්ගලිකව ගුරුවරයෙක් ලවා ඔහුට උගන්වන්න පටන් ගත්තා. ඇයි අම්මේ මම ඉස්කෝලේ යන්නේ නැද්ද?..දවසක් තෝමස් ඇහුවා.

නැහැ පුතා..පුතා බොහොම දක්ෂ දරුවෙක්..ඒ නිසා පංතියේ පුතාට ඉගෙනගන්නවාට වඩා යමක් පුද්ගලිකව ඉගෙන ගන්න පුලුවන්. අම්මා පිලිතුරු දුන්නා. තෝමස්ද ඉගෙනුමට පසු නොබා හොදින් ඉගෙන ගත්තා.

කාලයක් ගිහින් තෝමස්ට අර ගුරුතුමා එවන ලද ලිපිය හමුවුනා. එය කියවූ ඔහුට අම්මා ගැන පුදමු ගරුත්වයක් ඇති වුනා. ඇතත්ටම එදා මේ බල්ලා යැයි හංවඩු ගැසූ තෝමස් වෙනුවෙන් අම්මා මේ විදිහට තීරණයක් නොගත්තා නම් අද අපිට විදුලි බල්බයේ ආලෝකය ලැබෙන්නේ නැහැ.

ඒ නිසා පංතියක වුනත් මොනතරම් පසුගාමී දරුවෙක් හිටියත් ඔහු වෙනුවෙන් විශේෂණ පද ගොඩ නැගීම නම් ගුරුවරුන් විසින් නොකල යුතුම දෙයක්. වයසට තිබෙන දඟකාරකම් වගේම අවධානය නොදක්වා හිටියත් ඔවුන්ගේ බුද්ධිය ගැන අපි දන්නේ නැහැ. පංතියක ඉදිරි පෙල සිටින දරුවන් අභිබවා සමහර අවස්ථාවල පසුපෙල දරුවන් ඉදිරියට යනවා. ඒ නිසා කිසිම විදහකින් මේ අයට අවතක්සේරු වෙන විදිහට කතා නොකල යුතුමයි.

සමාජයට බියයි

මට කිසිම වටිනාකමක් නැහැ. යන සංකල්පය දරුවාගේ හිතේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඇයි ඉතින්…අම්මා තාත්තා නිතරම තමාව ආමන්ත්‍රනය කරන්නේ ගොනා, බූරුවා, කාලකණ්නියා කියන වචන වලින් නිසා දරුවා හිතන්නෙත් තමා නොවටිනා කෙනෙක් බවයි. මේ නිසාම ඔහු සමාජය සමග සම්බන්ධතාවයන් පටන් ගන්නත් වගේම පවතින සම්බන්ධතාවයන් වුනත් දිගින් දිගට පවත්වා ගැනීමට උත්සාහ ගන්නේ නැහැ.

නොමග යන්නත් ඉඩ තිබෙනවා

දරුවන් නිතරම තමන් වෙනුවෙන් මව්පියන්ගේ ගරුත්වය බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් දරුවන්ට විතරක් නොවෙයි සතුන්ට වුනත් පොදුයි. දරුවන්ගේ පෙල පොතේ තිබෙන ” නන්දිවිසාල ජාතිකය ” කියවන ඔබටත් මේ බව තේරුම් යාවි. මොන තරම් හීලෑව සිටි නන්දිවිසාල ගවයා බර අදින්න පසුබැස්සේ තමාගේ හිමිකරුවා නපුරු විදිහට කතා කල නිසයි. ඒත් කරුණාවෙන් ආමන්ත්‍රනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මීට වෙනස්. ඔබ අලියන්ගේ ගති පුරුදු දන්නවා නම් වචන මොන තරම් බලවත්ද සිතාවි. අලියත් ගරුත්වයට කැමැතියි. රාලහාමි කියන ආමන්ත්‍රනයට කැමැති අතර ගෙරියා..වැනි අවතක්සේරුවට නම් මනාපයක් නැහැ. සතුන් පවා වචන ගැන මේ තරම් අවධානයක් දක්වනවා නම් යමක් කමක් තේරුම් ගැනීමේ බුද්ධිය තිබෙන අපේ දරුවන් ගැන ඉතින් කවර කතාද…?

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article