- Advertisement -

දරුවන් කලහකාරී වීමට හේතුව ඔබද ?

-

එදා දරුවන් ට  පාසල ඉතා මිහිරි ස්ථානයක් විය. ඔවුන්ට පාසලේ සතුරන් සිටියේ නැත. සිටියේ මිතුරන් පමණි. ඉතා සැහැල්ලු මානසිකත්වයකින් කාලය ගෙවූ ඔවුන් අතර අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු තරඟයක් වූයේද නැත. පුළුවන් එකා ඉහලට ගිය විට අනෙකා ඔහු කකුලෙන් ඇද බිම දැම්මේද නැත. එහෙත් අද තත්වය ඊට වෙනස්ය.

අද බාලේ පටන්ම දරුවන් මුල් කර ගත් අධ්‍යාපනයේ පවතින්නේ තරඟයයි. එකිනෙකා හඹා ගෙන ඉදිරියට නොගියොත් තමා පරාජය වන්නේය යන සිතුවිල්ල ඉතා තදින්ම සිත් තුළට ඇතුළු වී අවසානය.මව්පියන් ලබා දෙන උපදෙස වන්නේත් අල්ලපු ගෙදර, එහෙම නැත්නම්  අයියාගේ මල්ලිගේ දරුවන්ට වඩා තමාගේ දරුවා ඉදිරියට යා යුතු බවයි. බාලේ පටන්ම මෙම අදහස තුළ දරුවාට ලැබෙන්නේ ඉලක්කයක් නොව පීඩනයකි. ඔහු නිතරම උත්සාහ කරන්නේ කෙසේ හෝ තමා අධ්‍යාපනයේ ඉදිරියෙන් සිටින්නටය. යම් ලෙසකින් තමාට ඉදිරියෙන් සිටින්නෙකු වේ නම් ඔහු කෙසේ හෝ පහතට ඇද දමන මානසිකත්වයකින් දරුවා පීඩා විඳින්නට පටන් ගනී.

- Advertisement -

ලෝකයේ හැම දෙනාම එකසේ දක්ෂයන් නොවනු ඇත. ඇගිලි පහ එක හා සමාන නොවන්නා සේ දරුවන් අතර පවතින දක්ෂතාවයන් එකිනෙකාට වෙනස්ය. ඔවුන් ඵල ප්‍රයෝජන ලබා ගත යුත්තේ එම දක්ෂතාවයන් පාදක කර ගෙනය. එවිට ඔබේ දරුවාට දිගු ගමනක් යා හැක.

මේ නිසා ඔබ කිසිම දිනක දරුවා තවත් කෙනෙකුට සාපේක්ෂ නොකරන්න. මව්පියන් ලෙසින් ඔබ කරන විශාල වරද එයයි. මව්පියන් විසින් පෙන්වන චරිත පාදක කර ගෙන ඉදිරියට යා යුතුය යන පෙලඹවීමක් ඔවුන්ගේ සිත තුල ගොඩ නැගෙන්නේ නැත. ඒ වෙනුවට ඇති වෙන්නේ වෛරයක් පමනි. මේ වෛරය නිසාම දරුවාට නිරවුල් මනසකින් යුක්තව ඉගෙණුම් කටයුතු ඉදිරියට කර ගෙන යෑමට අවශ්‍ය මානසික පසුබිම ගොඩ නැගෙන්නේ නැත.

මව්පියන් විදිහට ඔබ දරුවාට ලබා දිය යුතු අවවාදය වන්නේ ඔබේ හැකියාවට අවශ්‍ය පරිදි වපසරිය සකසා ගන්නා ලෙසයි. හොඳ අස්වැන්නක් ලබා ගත හැක්කේ එවිටයි. අහවලාගේ දරුවා ගැන ඔබ සිතින් වද විඳින්නට අවශ්‍ය නැත ඒ ඔහුගේ බුද්ධියේ ධාරිතාවයි. ඔබේ දරුවා ඊට වෙනස්ය.ඔවුන්ට අවශ්‍ය තීන්දු තීරණ නිදහසේ ලබා ගැනීමට අවසර දෙන්න.

අද පාසල් අධ්‍යාපනයෙන් ලැබෙන පීඩනය නිසාද දරුවන් අතර කලහකාරිත්වය ගොඩ නැගෙනු ඇත. සෙල්ලමට අවසර ඇත්තේම නැත. පංති කාමරයේ හුස්මක් ගැනීමට ඉඩක් නැත. එදා බොහෝ පංතිවල පාඩම් ඉගැන්වීම ගසක් යට වැනි එලිමහන් පරිසරයක සිදු විය. සුළග සමග ඔවුන්ගේ සිතට ඇති වුනේ අලුත් බවකි. සැහැල්ලුවකි. අද තත්වය ඊට වෙනස්ය. බිත්ති වලින් වට වුන පංති කාමරයට අනෙක් පංතියෙන් නැගෙන ඝෝෂාව විඳ දරා ගැනීම අපහසුය. රස්නය දරා ගත නොහැක. මෙවන් පරිසරයකදී අධ්‍යාපනය මහත් පීඩාවක් වෙනු ඇත. මෙම පීඩනය නිසාම සහජීවන පිලිබඳ සංකල්ප ගොඩ නැගෙන්නේම නැත.

මෙම පීඩාකාරි මානසිකත්වය නිසාම අද අසල්වැසි පාසල්වල දරුවන් අතර ඇත්තේ නයි පොලොං‍ වෛරයකි. කිසිම හේතුවක් අවශ්‍ය නැත පන්න පන්නා පහර දෙති. විටෙක මේ වෙනුවෙන් වැරැද්දක් අවශ්‍ය නැත අහවල් පාසලේ නම් ඔවුන්ට හිරිහැර කළ යුතුව ඇත. බාල සහෝදරයන් වුවත් කමක් නැත.

අන්තර් පාසල් ක්‍රිකට් ගැටුම් කෙළවර වෙන්නේ දෙපිරස අතර ඇති වෙන හැල හැප්පීමත් සමගින්ය. සහෝදර පාසල් යන සංකල්පයක් හිතේ කොතැනකවත් නැත. මේ වෛර පිරිමහන අවස්ථවක් තරමටම අද මහ තරග ගැටුම දුර්දාන්ත තත්වයට පත්ව ඇත.ඒ වෙනුවෙන් ලබා දෙන උපදෙස් බීරි අලින්ට වීනා ගායනා වැනිය. ඒ තරමටම දරුවන්ගේ විනය පිරිහී ඇත. වෙනදා වැඩිහිටියෙකුට මෙල්ල කර ගත හැකි දරුවන් අද නීතියටවත් නම්මවා ගැනීම අපහසුවක්ව ඇත.

විශ්ව විද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයන්හිදී තවත් සහෝදර පිරිසක් පිලිගැනීමේ මුහුණුවර වධකාගාරයක ලබා දෙන දඩුවම් තරමටම දරුණුය. නවකයන් යනු තවත් ආගන්තුකයන් පිරිසක් පමනි. මෙම දෙපාර්ශවය අතර මීට පෙරාතුව කිසිදු ගණුදෙණුවක් සිදු වී නැත එසේ නම් අමානුෂික ලෙසින් නවකයන්ට වධ බන්ධන ලබා දීමට තරම් තරුණ සිත් සැහැසිව ඇත. මෙතැන ඇත්තේ නවකයන් පිලිගැනීමක් නොව තමන්ගේ ක්‍‍ෂත්‍රය තුළට එක් වූ තවත් පරම්පරාවක් මුල් කර ගත් ද්වේශයක් පමණි.

එදා නවකයන් පිළිගත්තේ ගීතයක් ගායනා කිරිම , රංගනයක් වැනි සැහැල්ලු ඉල්ලීමකින් පමණි. මේ තත්වය අද අලුත් පංතියක , පාසලකටත් ආරෝපණය වී ඇත. නවකයන් මානසික් බිමට ඇද දැමීමේ එකම ප්‍රයත්නය එයයි. එතැනින්ම ඇතැම් දරුවන් මානසික පසුබෑමට පත් වේ.

නිතරම දරුවන්ට සහජීවනය හුරු කරන්න. සමාජයේ අපි සියළු දෙනාම එකසේ ජීවත් විය යුතුය යන සංකල්පය හඳුන්වා දෙන්න. තරඟයක් නොව ඔබට හැකි දේ ඔබ කරන්න…නියම ජයග්‍රහනය ඇත්තේ එතැන බව කියා දෙන්න. අද නවකයෙක් ලෙසින් පංතියට එන දරුවා අනාගතයේදී බොහෝ දුර ගමණක් යන හැකියාවෙන් යුක්ත වුනත් මානසිකව ඔහු වට්ටවා දැමීම විශාල වරදක් බවත් ඇත්තෙන්ම එය පාපයක් තරමට දරුනු බවත් දරුවන්ට කියා දෙන්න. බොහෝ ආකල්ප ඇති වෙන්නේ මුලින්ම තමාට ලබා දෙන පිලිගැනීම නිසාය. එබැවින් අලුත් සාමාජිකයන් ඉදිරියේ කලහයට වඩා සුන්දර පිලිගැනීමක් ලබා දුන් විට ඔවුන් තුළ ගොඩ නැගෙ මිතුරු හිත ඉතා ප්‍රබල වෙනු ඇත.

පංතිය, පාසල , විශ්ව විද්‍යාලය සැමට පොදුය. අධ්‍යාපනය ලැබීමේ සමාන අයිතිය සැම දෙනාටම ඇත. එය එක් පිරිසකගේ වරප්‍රසාදයක් පමණක් නොවේ. එහෙත් මෙම සමානාත්මතාවයෙන් එකිනෙකාට සංග්‍රහ කරන්නට තරුණ ශිෂ්‍ය කණ්ඩායම් සූදානම් නැත. එසේ සංග්‍රහ ලබන්නට තවත් පිරිසකට වරම් නොමැත. මේ විසංවාදය නිසා නිරන්තරව ඇත්තේ හැල හැප්පීම් මිස අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට හැකියාව සහිත පරිසරයක් ගොඩ නැගෙන්නේම නැත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article