- Advertisement -

ඕටිසම් (Autism) තත්ත්වයේ පසුවන දරුවෙකු ගැන වැඩිහිටියන් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු 20ක්

-

අද අප්‍රේල් 2, ඕටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ ජ්‍යාත්‍යන්තර දිනයයි. මොළයේ සෛලවල ඇතිවන සංකූලතාවයන් හේතුවෙන් ඇති වන තත්ත්වයක් වන ඕටිසම් පිළිබඳව නිවැරදිව ඔබව දැනුවත් කිරීම උදෙසා ඕටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්යන්තර දිනය වන අද දින Parenting.lk අපේ වෑයමයි. මන්ද ඒ තුළින් දරුවන්ගේ යම් අසාමාන්ය තත්ත්වයන් ඇත්නම් ඒ පිළිබඳව හඳුනා ගැනීම ඔබට පහසු විය හැකි බැවින්ය.

ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙකු සාමාන්ය ජීවිතයට හැකිතාක් දුරට හුරුකරවීම සඳහා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු, මනෝ වෛද්‍යවරයෙකු, වාග් චිකිත්සකවරුන්, වෘත්තිය චිකිත්සකවරුන් සිය දැනුම, කාලය, ශ්‍රමය උපරිමයෙන් යොදවන අතරම මෙසේ දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ භාරදූර කර්තව්‍යයේදී දෙමාපියන්හට පැවරෙන වගකීම ද සාර්ථකව ඉටු කිරීම දරුවා හැකිතාක් දුරට සමාජය තුළ ස්වාධීන කරවීමට මහත් සේ රුකුල් වේ. එසේම අද වන විට මෙවැනි දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ක්ෂේශ්ත්‍රයද ඉතා දියුණු තත්ත්වයකට පත්ව තිබේ. මොවුන් වෙනුවෙන් විශේෂිත පුහුණු ගුරුවරුන් මෙන්ම අධ්‍යාපන ආයතන, පෙර පාසැල් අපේ රට තුළද ක්‍රියාත්මකව පවතී. මේ හේතුවෙන් අතීතයේදීට වඩා අද වන විට ඕටිසම් සහිත දරුවන්ගේ අනාගතය වාසනාවන්ත තත්ත්වයට පත්ව තිබේ.

- Advertisement -

ඔබ දන්නවාද?

ඕටිසම් තත්ත්වය සහිත දරුවන් තුළ පවත්නා දුර්වලතා ප්‍රධාන කොටස් තුනක් යටතේ හඳුනා ගත හැකි බව. එනම්, සන්නිවේදන දුර්වලතා, සමාජීය සම්බන්ධතා සම්බන්ධ දුර්වලතා සහ සිතුවිලි ආශ්‍රිතව ඇතිවන දුර්වලතා වශයෙනි.

දෙමාපියනි,

දරුවන් එකිනෙකාට වෙනස් වේ. එක් දරුවෙකුට දෙනු ලබන ප්‍රතිකාර මෙන්ම ව්‍යායාම තවත් දරුවෙකුට සුදුසු නොවිය හැක. මන්ද මෙවැනි තත්ත්වයකදී ඇතැම් සමාන ලකෂණ පෙන්නුම් කළද දරුවන්ගේ හැකියාවන් මත ඔවුන්ට ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වෙනස් වියහැකි බැවිනි. අන්න ඒ නිසාම ඔබ විසින් සැලකිලිමත් විය යුත්තේ ඔබේ වෛද්‍යවරුන්/චිකිත්සකවරුන් ලබාදෙන සහ උපදෙස් දෙන කාර්යයන් පමණක් මෙවැනි දරුවන් වෙත නිවැරදිව ඉටුකිරිමයි.

සන්නිවේදනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ඕටිසම් දරුවන් පෙන්නුම් කරන ලකෂණ

• ඕටිසම් දරුවන් සන්නිවේදනයට එතරම් ඇල්මක් නොදක්වන අතරම බොහෝ විට තම අවශ්‍යතා පමණක් සන්නිවේදනය කරයි
• කතාවේ සහ භාෂාව වර්ධනයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබේ
• ඇසට ඇස බලා කතා නොකරයි
• නිවැරදිව සංවාදවල යෙදීම අසීරු නිසා සංවාද පවත්වාගෙන යාම ගැටලුකාරීය
• සංවාදය ඇරඹුම, අවසානය පිළිබඳව හැඟීමක් නොමැත
• තමන් කැමති දේ පිළිබඳව පමණක්ම කතා කරයි
• එකම දෙය කිහිපවරක් නැවත නැවත පවසයි
• අන් අයගේ කතාවලට ඇහුම්කන් දීමක්/ප්රතිචාර දැක්වීමක් නොමැත
• තමන්ට සිතන/දැනෙන දේ පිළිබඳ අන්‍යන් දන්නා ලෙස සිතා කටයුතු කරයි.
• විහිළු තහළු/උපමා/ව්‍යංගාර්ථ වැනි දෑ තේරුම් ගැනීම අපහසුය.

සමාජීය සම්බන්ධතාවලදී ඕටිසම් දරුවන් පෙන්නුම් කරන ලකෂණ

• සමාජීය සබඳතා පවත්වාගෙන යාමට ඇති කැමැත්ත ඉතා අඩුය.
• තමන්ට කැමති අවස්ථාවන්වලදී තමා කැමති අයෙකු සමග පමණක් සබඳතා පවත්වයි.
• නිවැරදි වෙලාවට නිවැරදි ලෙස අන් අය සමග සම්බන්ධතා පැවැත්වීමට අපොහොසත්ය.
• තනිව සිටීමට බොහෝ ප්‍රිය කරයි
• සමාජීය රිතීන් පිළිබඳ ඔවුන් තුළ ඇති අවබෝධය අවමය.
• නිර්මාණාත්මක ක්‍රීඩාවල නොයෙදෙන මොවුන් බොහෝවිට සෙල්ලම් කිරීම වෙනුවට සෙල්ලම් බඩු පේළියට තැබීම හෝ ඒවා ද්‍රව්‍ය ලෙස භාවිත කරයි
• එකම ක්‍රීඩාව එකම ආකාරයෙන් නැවත නැවත සිදු කරයි. මෙවැනි තත්ත්වයකදී යම් බාධාවක් පැමිණයහොත් ඉතා ඉක්මණින් කෝප වේ.

සංවේදී/දැනීම ආශිත ගැටලූ සහිත ඕටිසම් දරුවන් පෙන්නුම් කරන ලකෂණ

වර්ණ/ශබ්ද/රස/සුවඳ/ස්පර්ශ යන සන්වේදනවලට අදාලව මෙවැනි දරුවන් තුළ අධි ක්‍රියාකාරීත්ව මෙන්ම අවක්‍රියාකාරීත්ව තත්ත්වයන් දක්නට ලැබේ. එනම් මෙවැනි ඇතැම් දරුවන් අධිසංවේදී වන අතරම ඔවුන් කුඩා උත්තේජනයකදී ඉක්මන් ප්‍රතිචාර දක්වන අතරම අවසංවේදී දරුවන් ප්‍රබල උත්තේජනයකින් පමණක් ප්‍රතිචාර දක්වයි.

• නින්ද අවමය.
• එකම රස/නමකින් යුතු ආහාර පමණක් ලබාගනී
• සියුම් චාලක හැකියා පෙන්වීමේ හැකියාව අවමය
• ආරක්ෂාව පිළිබඳ ස්වාධීනව කටයුතු කිරීම අපහසුව
• අනුමාන කිරීම් හෝ සංසන්දනාත්මකව තීරණයකට එළැඹිය නොහැකි මොවුන්ට යම් දෙයක සුළු කොටසකට පමණක් අවධානය යොමු කරන අතරම සම්පූර්ණ තත්ත්වය අවබෝධ කරගැනීම අපහසුය.

අද වන විට සිදු කෙරෙන සමීකෂණ වාර්තාවලට අනුව ලොව සෑම දරුවන් හැට අට දෙනෙකු අතරින් එක් අයෙකු ඕටිසම් තත්ත්වයෙන් පෙළෙන බව පැවසේ. ඕටිසම් තත්ත්වය ඇති වීමට නිෂ්චිත හේතුවක් හෙළි වී නොමැති වුවද සමීකෂණ වාර්තාවලට අනුව ජානමය හේතූන් සහ පාරිසරික හේතූන්වල යම් බලපෑමක් ඇති බව අනාවරණය වී ඇත.
එසේම අධි රසායන හේතුවෙන් ඕටිසම් තත්ත්වය ඇති වේද යන්න පිළිබඳව සොයා බැලීමට පරීකෂණ සිදුකෙරෙමින් පවතින අතරම වාහන දුම, කෂණික/කෘතිම ආහාරවල අධිරසායන ද්රව්ය ඇති බැවින් ගැබිනි සමයේ මෙන්ම කිරි දෙන අවධියේ එවැනි දේට නිරාවරණය නුසුදුසු බවට මව්වරුන්ට උපදෙස් ලබාදේ. එසේම ගැබිනි මව සහ කිරි දෙන මව වෛද්ය නිර්දේශයට අනුව නිසි පරිදි යකඩ ලබාගැනීම තුළින් ද මෙම තත්ත්වය වළක්වා ගැනීමට හේතු වන බවද පැවසේ. නිරෝගී දරුවෙකු පිළිබඳ සිහින දකින ඔබ මෙවැනි තත්ත්වයන්ගෙන් ආරකෂා වීමට වග බල ගත යුතුය.

කථන හා භාෂා ව්‍යාධිවේදී නිමීර චතුරංග වීරරත්න මහතා සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article