- Advertisement -

උපතින්ම දරුවන්ට උරුම විය හැකි පාදවල විකෘතිතා හඳුනා ගනිමු

-

දරුවන්ගේ පාදවල බකල තත්ත්වය පිළිබඳව මීට පෙර ලිපියකදී අප ඔබ වෙත තොරතුරු සැපයූවා මතක ඇති. බොහොමයක් මව්වරුන්ට තම ළදරුවන්ගේ පාද හා සම්බන්ධව යම් යම් ආකාරයේ ගැටලූකාරී තත්ත්වයන් පැන නැගී ඇති බව ඔවුන් අපෙන් විමසන තොරතුරුවලට අනුව පැහැදිලි වූවා. ඒ නිසාම ළදරුවන්ගේ පාදවල ඇති විය හැකි යම් යම් විකෘතිතා පිළිබඳව මව්වරුන් දැනුවත් කිරීම උදෙසා එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම.

ටැලිපීස් ඉක්වයිනො වේරස්

උප්පත්තියෙන්ම පාදවල ඇති විය හැකි විකෘතිතා අතර මේ තත්ත්වය බහුල වශයෙන්ම දක්නට ලැබේ. පාදයේ පතුල පහතට වැටී ශරීරය තුළට හැරී පිහිටීම මෙහි ස්වභාවයයි. මෙම දරුවන්ගේ පතුල සහ විලූඹ කුඩා වන අතර කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශීන් සිහින්ය. තවද පතුලේ ඇතුළු පැත්තේ සමේ රැලි පිහිටන අතර ශරීරයේ බර පතුලට වැටෙන්නේ එම පිටත දාරය ඔස්සේය.

- Advertisement -

මේ තත්ත්වය සඳහා පමා නොකර සුදුසුකම්ලත් පළපුරුදු භෞතචිකිත්සකවරයෙකු යටතේ ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් විකෘතිය නිවැරදි කරගත හැකයි. (නැතිනම් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු වේ) මෙහිදී පතුල ශරීරයෙන් ඉවතට හරවමින් ඉහළට ඔසවන ව්‍යායාමයක් සහ පතුරු බැඳීමක් සිදුකළ යුතුය. පතුරු බැඳීමේදී ඉංග්‍රීසී L හැඩයට පතුරක් (L Splint) සාදා එය පුළුන් වලින් ඔතා නින්දේදී දරුවාගේ පතුලට යටින් තබා ක්‍රේප් බැන්ඩේජයකින් බැඳීමට මෙහිදී උපදෙස් ලබාදේ.

මෙසේ භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී භෞත චිකිත්සකවරයා ලබා දෙන උපදෙස් අකුරට පිළිපැදිය යුතු අතරම යොදන බැන්ඩේජය පතුලේ ඇඟිලි නිරාවරණය වන සේ දැමීමට කල්පනාකාරී විය යුතුය. තවද බැන්ඩේජය ඉතා තදින් යෙදුවහොත් ලේ ගමනාගමනයට බාධා ඇති වී දරුවාගේ ඇඟිලි නිල් පැහැයට හැරෙන අතරම සීතල වී ඉදිමේ. එසේ වුවොත් වහාම බැන්ඩේජය ඉවත් කිරීමට කල්පනාකාරී වන්න.

”ටැලිපීස් කැල්කේනියෝ වැල්ගස්” (Talepees Calcaneo Valgus)

මෙයද උපතින්ම  දක්නට ලැඛෙන විකෘති තත්ත්වයක් වන අතරම මෙහිදි පාදය ඉහළට එසවී ශරීරයෙන් ඉවතට හැරී පිහිටයි. එනම් ටැලිපීස් ඉක්වයිනො වේරස් තත්ත්වයට විරුද්ධ දෙසටයි. ඒ සඳහා ද සුදුසුකම් සහිත පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් අනුව ව්‍යායාම සහ පෙර සඳහන් කළ ”L පතුර” (L Splint) පැලැඳීම සුදුසුය.

දණහිස් එකට ගැටීම හෙවත් ”නොක් නී” (Knock knee”

වෛද්‍ය විද්‍යාවේදී ජීනු වැල්ගස් (Genu Vaglus) ලෙස හැඳින්වෙන මෙම තත්ත්වයේ ලක‍ෂණ අතරට පතුල පැතලි (Flat Feet) වී තිබීම මෙන්ම පතුල ශරීරයෙන් ඉවතට හැරී පිහිටීම හෙවත් රිවර්ටඩ් ෆුට් (Reverted Foot) තත්ත්වයද දැක ගත හැකිය.

මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතු : 

  • මූලිකව ශරීරයේ බර අධික වීම
  • පතුල් දෙක අතර දණහිස් නවාගෙන ඉඳ ගැනීම
  • දරුවන් නියමිත වයසට පෙර සිටුව තැබීම (දරුවන් ස්වෝත්සාහයෙන් සිට ගැනීමට පෙර සිටුවා තැබීමෙන් වළකින්න)
  • දණහිස් අවට මාංශ පේශීන් ආඝාතයට ලක්වීම

දණහිස් එකට ගැටෙන තත්ත්වය නිවැරදි කිරීම

  • පතුරු තබා බැඳීමද සිදු කෙරේ ”ලැටරල් ස්ප්ලින්ටිස් ” (lateral splints) ඒ සඳහා භාවිත කරයි.
  • රාත්‍රී කාලයේදී දරුවා නින්දට ගිය විට දණ හිස් දෙක අතරට තුවායක් වැනි දෙයක් නවා තබා පතුල් නිරාවරණය වන සේ දෙපා එකට තබා රෙදිපටිවලින් වෙලීම සිදුකෙරේ.

පෙර සඳහන් කළ පතුල ශරීරයෙන් ඉවතට තැබීම (Reverted Foot) –  සඳහා විශේෂිත සපත්තුවක් පැළඳිය යුතුය. එම සපත්තුව ”ෂූ විත් මීඩියල් එලිවේෂන්” : (Shoe with medial elevation)  නමින් හඳුන්වයි.

මෙවැනි දරුවන්හට ට්‍රයිසිකලයක් පැදීම ඉතාම සුදුසු වේ. තවද බර නියමිත වයසට වඩා වැඩි නොවන සේ පාලනය කළ යුතුය.

”නොක් නී” තත්ත්වය කොපමණදැයි මැන ගැනීමට දරුවාගේ දණහිස් එකට සිටින සේ තබා පතුල් දෙක අතර දුර මැනීමෙන් එම අගය ලබා ගත හැක. මෙම අගය දරුවාට ප්‍රතිකාර කරන විට ක්‍රම ක්‍රමයෙන් අඩු විය යුතුය.

තවද දණහිස් එකට ගැටීමේ ප්‍රධාන ගැටලූවක් වන්නේ දුවද්දි දණහිස් එකිනෙකට වැදී දරුවන් බිම ඇද වැටී නොයෙකුත් අනතුරු සිදුවීමයි. එසේම දරුවාට යම් අවලස්සන පෙනුමක්ද එක්කරයි.

පේස් කේවස් (Pescavus)

උපතින්ම පාදවල දක්නට ලැඛෙන විකෘතිතා අතර මෙයද බහුල තත්ත්වයකි. එනම් පේස් කේවස් (Pescavus) නැතහොත් හොලෝ ෆුට් (Pescavus) තත්ත්වයයි.

මෙම විකෘතියේදී පාදයේ පතුල වඩාත් උත්තලව පිහිටන අතර පාදයේ ඇඟිලි උස්ව කුරුව පිහිටයි. ඇඟිලි පොළව හා නොගැටෙන අතර යටිපතුල ද වක්‍රව පිහිටයි. මේ නිසා ශරීරයේ බර පොළොවට ලබා දීමේදී ඇඟිලිවල උපකාරයක් නොලැඛෙන අතර ගමන් කිරීමේදී අපහසුතා ඇතිවේ.

මෙම විකෘතිය, එක් පාදයක හෝ පාද දෙකේම හෝ ඇති විය හැකි අතරම මෙයට ස්නායු ආබාධ සමග ඇති වන මාංශ පේශී අසමතුලිතතාවය හේතු විය හැකිය. මෙහිදී පාද දෙක එකකට එකක් වෙනස්ව පිහිටීම ද දැකිය හැක. පේස් කේව්ස් විකෘතිය ස්පයිනා බිෆිඩා (Spina Bifida) පෝලියෝ මයලයිටිස් වැනි රෝග සමග ද ඇති විය හැකිය.

පැතලි යටිපතුල් (Flat Feet )

පැතලි පතුල යනු  ඉහත සඳහන් කළ විකෘතියට විරුද්ධ තත්ත්වයේ ආබාධයකි. පාදයේ හා පොළොව අතර සම්බන්ධයේදී යම් දුරක් පොළව හා දැඩිව සම්බන්ධ වීම සිදු වේ. පාදයේ මස්පි අසමතුලිත වීම, මස්පිඩු දුර්වල වීම, මස්පිඩු ආඝාතයට ලක්වීම යන කරුණු හේතුවෙන් මෙම තත්ත්වය දැකිය හැක.

සෑම කුඩා දරුවෙක්ම නැගී සිටීමට උත්සාහ කරන කාලයේ සිට අවුරුදු දෙකක් ඇතුළත මේ තත්ත්වය පැවතිය හැකි වුවත් ඉන්පසු පවතින පැතලි පතුල් සඳහා ප්‍රතිකාර ගත යුතුය. දරුවෙකුට වයස අවුරුදු තුනෙන් පසුව පැතලි පතුල්වලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ.

පැතැලි පතුල් දිගටම පැවතීම වයසටයත්ම කකුලට වේදනාවක් ගෙන දෙයි. එමෙන්ම පතුලේ ටාර්සල් සන්ධිවල ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය දක්වාම වර්ධනය විය හැකිය. මෙසේ පතුල් විකෘතිතාව දරුවන්ගේ ශරීරයේ හැඩයට ද බාධාවකි. පාදයේ ඉන්ට්‍රින්සික් මාංශ පේශී සඳහා ශක්ති ජනක ව්‍යායාම ලබා දීම හා විශේෂිත සපත්තු පැලදීම මේ සඳහා සිදුකරන ප්‍රතිකාර වේ.

භෞතචිකිත්සක උපදෙස් අනුව යම් යම් විකෘතිතා සඳහා පතුරු බැඳීමේ ක්‍රමය යොදාගන්නේ නම් මේ පිළිබඳව සැළකිලිමත් වීම අනිවාර්ය බව සිහිතබාගන්න.

පතුරු තදින් බැඳීම හේතුවෙන් ලේ ගමනාගමනය අවහිර වූවොත් පතුල ඉදිමීම, සීතල වීම හා නිල් පැහැගැන්වෙන අතරම එවැනි තත්ත්වයක් ඇති වී නම් වහා රෙදි පටි ගලවා දැමිය යුතුය. මේ පිළිබඳව මව්වරුන් තම පූර්ණ අවධානය යොමුකර සිටීම ඉතා වැදගත් වේ.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රධාන භෞත චිකිත්සක,
වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති,
ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article