- Advertisement -

ළමයි බයයි බෙදාගන්න – ඒත් ඕනේ හුරුකරන්න

-

හුවමාරු කරගන්න,බෙදාගන්න ඉගෙනගැනීම පුංචි දරුවන්ට ඇත්තටම ලොකු අභියෝගයක්.නමුත් එය ළමා කාලය තුලදී දරුවන් පුහුණු කරගත යුතු අත්‍යවශ්‍ය පුරුද්දක්.ඇතිතරම් කාලය දෙමින්,ඇතිතරම් දේවල් ලබාදී ඔබට දරුවාට බෙදාහදාගැනීම පුරුදු කරන්න පුළුවන්.ප්‍රශංසාව සහ දිරිගැන්වීමෙන් දරුවකුගේ යහගුණ වර්ධනය කරගන්න හැකි බව ඔබ දන්නවද?

ඇයි බෙදාහදා ගන්න එක ඔච්චරටම වැදගත් ?

බෙදාගැනීම කියන්නේ හුඟක් වැදගත් හැකියාවක්.දරුවන්ට යුහුසුළුව මිතුරන් හා සබඳතාවන් ගොඩනගා ගැනීමට,පවත්වාගෙන යාමට ඉන් ලැබෙන්නේ ලොකු උදවුවක්.ඔබේ දරුවා සමාජගත වන පළමු පියවර වන පෙර පාසල,පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුලදී අනෙක් දරුවන් හා සෙල්ලම් කරන්න,සුහදශීලි වෙන්න නම් මේ බෙදාහදා ගැනීම හරිම වැදගත්.

- Advertisement -

බෙදාගැනීම දරුවන්ට තමන්ට ඇතිවන ඕනෙම ගැටලුවකදී හොඳ සම්මුතියකට එළඹෙන්න ස්ථාවර අඩිතාලමක් දාලා දෙනවා.මූලිකවම ඔවුන් ඉගෙනගන්නේ අප ලබාදෙන යම් කුඩා දෙයක් වේද..පෙරලා අපට ඉන් ප්‍රතිඵල ලැබෙනවා කියලයි.ඒත් මෙහි පැති කිහිපයක් තියෙනවා.මවක්,පියෙක්,ගුරුවරයෙක්,වැඩිහිටියෙක් විධියට අප මෙහිදී කියාදිය යුත්තේ අප කරන ඕනෑම අයහපත් දෙයක් හෝ යහපත් දෙයක් හෝ වේවා ඉන් පෙරලා අපට හොඳ හෝ නරක ප්‍රතිපල ලැබෙන බවත් නරක දේවලින් ලැබෙන්නේ නරක බවත් හොඳ දේවලින් ලැබෙන්නේ හොඳ බවත්ය.බෙදාගැනීම තුල ළමුන් අන් අය  සමඟ කතාකරන්නේ කොහොමද? හිත නොරිදවා වැඩ කරන්නේ කොහොමද?සහයෝගය කියන්නේ මොකක්ද?සහයෝගෙන් එකට එකතුවෙලා වැඩ කරන්න ඕනේ කොහොමද කියන දේවල් ඉගෙනගන්නවා.එය වැඩිහිටි අපට හොදින්ම පෙනෙන්නේ ළමයා දිනෙක අප මෙන්ම වැඩිහිටියෙක්,මවක්,පියෙක් වූ දවසටයි.මෙය ඇත්තටම ජිවන කුසලතාවයකි.

බෙදාගන්න ඉගෙනගන්න දරුවාට උදවු කරන්න

දෙමව්පියන් කරන කියන හැම දෙයක්ම ඒ දෙස බල සිටින දරුවන් ද ඉගෙන ගන්නා බව මෙතැනදී මතක තබගතයුතුම වැදගත්ම කරුණයි.යහපත් බෙදාගැනීම තුල ඔබේ ක්‍රියාකාරකම්,සිතුවිලි හඳුනාගන්න ඔබේම දරුවා ඒවා පහසුවෙන්ම ග්‍රහණය කරගන්නවා.බෙදාගන්න ඉගෙනගන්න හොඳ ක්‍රම ටිකක් තමයි මේ.

බෙදාගන්නා අවස්ථා ගැන දරුවා දැනුවත් කරන්න,අගයන්න.අන් දරුවන් ද එසේ කරන විට එය අගයන්න.ඔයාගේ යාළුවා එයාගේ සෙල්ලම් බඩු අනික් අයටත් දෙනවා.එහෙම අනික් යාළුවොත් එක්කත් බෙදාගෙන වැඩකරන එක කොච්චර හොඳ දෙයක්ද? කියලා දරුවාට ඇහෙන්න කියන්න.

ළමයි ගොඩාක් වෙලාවට බෙදාගන්න බයයි.දුන්නොත් ආපහු දෙන එකක් නැතිවෙයි.නැතිවුනා කියල අම්ම බනියි.ඒක කාටවත් දෙන්න නෙමෙයි අම්මා මට දුන්නේ.ඒක මගේ විතරයි.කියල පොඩි කාලෙදිම එයාල ආත්මාර්ථකාමී ව හිතන්න ගන්නවා.ඒක ඇතිවෙන්නේ බයකුත් එක්ක.ඒ නිසා ලොකු වුනාමත් හැමදෙයක්ම තමන් සතු කරගන්න,අනික් අයටත් නොදී ඉන්න,කොටින්ම කිව්වොත් බෙදාගන්න නෙමේ බදාගන්නයි ඔවුන් පුරුදුවෙන්නේ….ඒ නිසා ඔවුන් තමා සතු දේවල් නැති අයකුට දුන්නොත්,හුවමාරු කරගත්තොත් මාපියන් හැටියට ඔබ කල යුතුම දෙය ඔවුන්ව අගයන එකයි.

මෙතැනදී අනිකාටත් ඉඩදීම කියන සංකල්පයත් මතුවෙනවා.බෙදාගන්නවා කියන්නේ සාමුහික බවේ ලක්ෂණයක්.ඔබට දරුවා සමඟ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.බිල්ඩින්ග් බ්ලොක්ස් අරගෙන මුලින්ම ඔයාගේ වාරය.ඊලඟට මගේ වාරය…අපි හැමතිස්සෙම අනික් අයටත් තැන දෙන්න ඕනේ කියමින් සෙල්ලම් කරන්න.එකවගේ සෙල්ලම් බඩු කිහිපයක් ගන්න ඔබට ඒවා නැති බව පවසන්න.දරුවා සතුව එවැනි සෙල්ලම් බඩු ගොඩාක් තියෙන බවට හඟවන්න.එහෙනම් නැති කෙනෙක්ට තමන් ළඟ තියෙන දෙයක් දෙන එකේ වටිනාකම කියල දෙන්න ඔබට මින් පුළුවන් නේද? “ඔයාගේ රතු පාට බිල්ඩින්ග් බ්ලොක්ස් මට දෙන්න..මගේ කොළ පාට බිල්ඩින්ග් බ්ලොක්ස් දෙන්නම් ඔයාට” මේ වගේ සහයෝගය පෙන්වන ක්‍රියාකාරකම් නිතර දරුවාට ඇහෙන්න දකින්න සලස්වන්න.දරුවා පෙර පාසලට යන්න කලින් බෙදාගැනීම තුල ඇති වැදගත්කම පහදන්න.යාලුවෙක් පැන්සලක් ඉල්ලුවොත් ඔයාට  තියෙන්නේ එක පැන්සලක් නම් පුළුවන් න, පැන්සල දෙකට කඩා හරි කොටසක්  යාළුවාට දෙන්න තරම් ඔයා කරුණාවන්ත වෙන්න .ඔයාට වැඩිපුර තියෙන දෙයක් යාළුවාට නැත්නම් එයාට ඕනේ වේලාවකදී දෙන්න.මේවගේ දේවල් දරුවාට තේරෙන විධියට ඉතා සරලව පැහැදිලි කරන්න ඔබට පුලුවන්.

ඔබේ දරුවා බෙදාගැනීමට අකමැත්තක් දක්වයි නම්


මුලදී බෙදාගැනීම අභියෝගාත්මක විය හැකියි.මේ හැකියාව වර්ධනය කරගන්න බොහෝ දරුවන්ට යම් සහයෝගයක් සහ ඇගයීමක් අවශ්‍යමයි.ඔබේ දරුවා බෙදාගන්න අකමැතියි නම් නිවසේදී පුංචි ක්‍රියාකාරකම් ඒ සඳහා ඔබට කල හැකියි.උදාහරණයක් විධියට “අපි මේ පලතුරු බෙදාගමු ද? කෑල්ලක් මට කෑල්ලක් ඔයාට”…මේ විධියට බෙදාගැනීම ටික ටික පුරුදු කරන්න ඔබට පුළුවනි.බෙදාගන්න කැමති නැහැ කියලා දරුවා ව සෙල්ලමට නොයවා ඉන්නත් එපා.බෙදාගන්න එක කොච්චර වටිනවද කියල උගන්නන්න  අන් දරුවන් එක්ක ක්‍රියාකාරකම් වල නිරත වීම ම අවස්ථාවක් කරගන්න.

බෙදාගැනීමට දරුවන් හුරුවන විවිධ වයස් ඛාණ්ඩ

ළදරු අවධිය :

මුල් අවුරුදු තුන ඇතුලත ඇත්තෙන්ම කිසිම දරුවෙක් දන්නේ නැහැ බෙදාගෙන වැඩකරන්න ඕනෙද නැද්ද කියලවත්.ගොඩක් වෙලාවට මේ වයස්වල දරුවන් හිතන්නේ ඔවුන් ලෝකයේම ඉන්න ප්‍රධානියා කියලයි.ඔවුන්ට තමයි හැමදෙයක්ම අයිති කියලයි.මේ කාලයේදී බෙදාහදා ගන්න එකට දරුවා ව දිරිමත් කිරීම වටිනවා.

අවුරුදු 3 ඉඳලා ගොඩක් දරුවන් තේරුම්ගන්නවා ගනුදෙනු කරන්න ඕනේ කියල.නමුත් ඔවුන් අන් අය සමඟ  බෙදාගන්න කියන සංකල්පයට  තවමත් සම්පූර්ණයෙන්ම නම් සූදානම් නැති බව වැඩිහිටි අප  මතකයේ තියාගන්න ඕනේ.ඔබේ දරුවා කැමති යමක් තවත් අයකු ළඟ තිබේ නම් එය ලැබෙන තුරු ඉවසන්න ත් දරුවන් ටික ටික ඉගෙනගන්නේ මේ කාලයේදී.ඒ තුල සුහදව  ගනු දෙනු කරන්නේ කොහොමද කියල ගුරුවරයා දරුවන්ට කියා දීම වැදගත්.මන්ද පාසල් කාලයේදී දරුවන් ලඟින් ඉන්නේ දෙමාපියන් නොව ගුරුවරුන් නිසා.

පෙර පාසල් අවධිය :

මේ කාලයේදී තමයි දරුවන් සම්පූර්ණයෙන්ම වගේ බෙදාහදාගැනීමේ සංකල්පයට ප්‍රවිෂ්ට වෙන්නේ.ඒ නිසා විවිධ සාමුහික ක්‍රියාකාරකම් මෙහිදී ඔවුන්ට ලබාදීම ගුරුවරයාගේ වගකීමක්.ඒ තුල හැමදේම තනිව කල නොහැකි බව,අන් අයගෙත් උදවුව කොතනකදී හෝ අවශ්‍ය බව,සාමකාමිව,සුහදව,අන්‍ය මත ගරුකරමින්,එකට එක්ව,එක අරමුණක් ඇතුව,සහයෝගයෙන් වැඩ කරන්න,අනික් අයට උදව් කරන්න,අනික් අයත් කියන දේවල් අහන්න දරුවා ක්‍රමයෙන් ඉගෙනගන්නවා.ඒ තුල අනාගත යහපත් නායකයන් පවා බිහිවේවි.

පාසල් අවධිය :

මේ කාලයේදී දරුවා ඉවසීමට පුරුදුවෙනවා.මා ඉහත කී කරුණු මනාව පුහුණු කල දරුවකුට පාසල යන සමාජයට එකතු වීම එතරම් අපහසු නැහැ.යහළුවන් ඇතිකරගන්න,සතුටින් ඉගෙනගන්න,සුහදව ඉන්න,උදවු කරන්න… බෙදාගැනීම හොඳින් පුරුදු වුනු දරුවකුට හුඟාක් පහසු දේවල්.මෙය දරුවා වැඩිහිටියෙකු වූ පසුවත් ඔහු හෝ ඇය සමඟ ගමන් කරාවි. ඒ නිසා දෙමව්පිය,වැඩිහිටි ඔබ අප හැමෝම දරුවාට බෙදාගැනීම පුරුදු කල යුතුයි.අද සමාජය ගොඩක් ඉන්නේ ගන්න මිසක් දෙන්න නෙමේ.මේ සිතුවිල්ල මත අද ලෝකය කෙතරම් අයහපත් වී තිබේදැයි ඔබටම පෙනෙනවා ඇති නේද?

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article