- Advertisement -

ළදරුවන්ගේ මනෝමීය සංවර්ධනය උදෙසා මව්වරුන් දැනුවත් විය යුතු කරුණු

-

නිරෝගී දරුවෙකු යනු ශාරීරික පෝෂණය මෙන්ම මානසික පෝෂණයත් උපරිමව හිමි දරුවෙකි. අද වන විට බොහොමයක් මව්වරුන් දරුවන් නිරෝගී කිරිමට උත්සහ දරන්නේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාදීම තුළින් පමණි. නමුත් පෙර සඳහන් කළ පරිදිම නිරෝගී දරුවෙකු යනු ශාරීරිකව මෙන්ම මානසිකව ද හොඳින් පෝෂණය වූ දරුවෙකි.

දරුවෙකුගේ ජීවිතයේ උපතේ සිට වසරක් සම්පූර්ණ වනතුරු කාල සීමාව නම් කෙරෙන්නේ ළදරුවිය ලෙසටයි. මෙම ළදරුවිය කාල සීමා තුනක් යටතේ බෙදා වෙන්කෙරෙන අතරම ඒවා,

- Advertisement -
  • උපතේ සිට පළමු මාස දෙක
  • මාස දෙකේ සිට මාස හය දක්වා
  • මාස හයේ සිට මාස අවුරුද්ද සම්පූර්ණ වන තෙක් ලෙසටයි

එසේම උපතේ සිට දරුවෙකුගේ සංවර්ධනය ප්‍රධාන ක්‍ෂේත්‍ර හතරක් යටතේ සාකච්ඡා කෙරේ. එනම්,

  • දලචාලක හැකියාවන්ගේ දියුණුව
  • සියුම් චාලක හැකියාවන්ගේ දියුණුව
  • කතාවේ සංවර්ධනය
  • සමාජ සන්නිවේදනය

ළදරුවෙකුගේ මානසික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉහත සඳහන් ක්‍ෂේත්‍ර අතරින් වැදගත් වන්නේ සමාජ සන්නිවේදනය නම් වූ ක්‍ෂේත්‍රයයි. අලුත උපන් බිළිඳාගේ සමාජය හා ඇති බැදීම සංවර්ධනය වීම ඇරඹෙන්නේ තම මව හඳුනා සිනාසීමත් සමගයි. ළදරුවා පළමු මාස හයේදීට වඩා දෙවෙනි සාම හයේදී සමීප පුද්ගලයන් විශේෂ කොට හඳුනාගනී. දෙවෙනි මාස හයේදී පිටස්තර පුද්ගලයන් ඇඳින ගන්නා අතරම ඔවුන්ට බියක් දක්වයි. මේ ආකාරයට ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනය ආරම්භ වේ.
ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනයට බලපාන කරුණු තුනකි.

  • ළදරුවාගේ සෞඛ්‍ය තත්ත්වය – යම් ළදරුවෙකු උපතේදී ඇති වන අසාමාන්‍යතා, හදවතේ සිදුරු පවතින අවස්ථා, වලිප්පුව වැනි තත්ත්ව මෙන්ම ශාරීරික දුර්වලතා මනෝමීය සංවර්ධනය ප්‍රමාද වීමට හේතු වේ. රෝහල්ගතව යම් කාලයක් ගත කිරීමට සිදුවන මෙවැනි ළදරුවන්හට පරිසරය මගින් ලැබෙන උත්තේජනයන් නොමැති නිසා මේ තත්ත්වය ඇති විය හැකියි.
  • මවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය – ප්‍රසූතියෙන් පසු කාන්තාවන් 60% පමණ ප්‍රමාණයක් කළකිරුණු කණස්සලු ස්වභාවයෙන් කාලය ගත කළද මොවුන් ඔවුන් මානසික ගැටලු පවතින රෝගීන් නොවේ. නමුත් කාන්තාවන් 10% පමණ ප්‍රමාණයක් විශාදය නමු වූ තත්ත්වයට මුහුණ දෙනවා.

ප්‍රසූතියෙන් පසු කාන්තාවන් මෙසේ මානසික ව්‍යාකූල තත්ත්වයට පත්වීමට මූලික හේතූන් කිහිපයකි.

  • ප්‍රසූතියත් සමගම සිරුරේ එක්වරම සිදුවන හෝමෝන වෙනස්කම්
  • අලුත උපන් ළදරුවා හේතුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයේ භාරදූරත්වය
  • සහය ලබාදීමට කිසිවෙකුත් නොමැතිකම

මේ තත්ත්වයේදී නිවැසියන් මෙම කාන්තාවගේ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගත යුතුය. මවට උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කළ යුතුය. ඇයගේ තත්ත්වය වටහා ගනිමින් ඇයව දිරි ගැන්වීමට කටයුතු කළ යුතුය. කෑම අරුචිය, නින්ද නොයෑම වැනි තත්ත්වයන් තිබේ නම් ඒ පිළිබඳව සැළකිලිමත් වී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතා වැදගත් වේ. නැතිනම් මවගේ මෙම හැසිරීම හේතුවෙන් දරුවාට මවගෙන් හිමිවිය යුතු දේ අහිමි වීම නිසා මනෝමීය සංවර්ධනය අඩාල විය හැකිය.

  • පරිසරයෙන් ලැබෙන උත්තේජන
    අලුත උපන් ළදරුවාට කිසිදු වැටහීමක් නොමැති වුවද වටපිටාවේ ඇති වන යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් ගෙන් මානසික සංවර්ධනය කෙරේ බලපෑම් ඇති විය හැකිය. නිහඩ සාමකාමී පරිසරයක් ළදරුවෙකු වටා පැවතීම අනිවාර්ය වේ. නැතිනම් ළදරුවාගේ මානෝමීය සංවර්ධනය අඩාල වීමට ඒ තත්ත්වය බලපෑ හැකිය.

මෙලොවට බිහිවන සෑම ළදරුවෙකුම උපතේ සිට පළමු මාස දෙක තුළ පෙනෙන දේ සඳහා ප්‍රතිචාර දක්වන්නේ අඩුවෙනි. එයට මූලික හේතුව වන්නේ දෘෂ්‍ය හැකියාව සම්පූර්ණ නොමැති වීමයි. එනම් ළදරුවෙකුගේ දෑස් පෙනීම සම්පූරණ වන්නේ උපතින් සති අටකට එනම් මාස දෙකක් අවෑමෙනි. නමුත් මේ කාලය තුළ ළදරුවාට අවශ්‍ය ශාරීරික උත්තේජනය උපරිමව ලබාදීමට මවට හැකියි. එනම් දරුවා තුරුළු කරගන්න, සිපගන්න, පිරිමදින්න වගේම ළදරුවාට ඇසෙන්නට කවි ගී ගායනා වැනි දේය. ළදරුවාට අවබෝධයක් නොමැති වුවද අම්මාගේ හඬ, උණුසුම, සුවඳ, රිද්මය ළදරුවාගේ මනෝමීය සංවර්ධනය බලපායි. කුඩා කාලයක් මෙවැනි උත්තේජනයක් ලබාදීමෙන් අනතුරුව ළදරුවාට නිදහස්ව සිටීමට ඉඩ ලබාදිය යුතුතේ මෙවැනි දේ අලුත උපන් ළදරුවෙකුහට ඉතා විශාල උත්තේජනයක් වන බැවිනි.

උපතින් මාස දෙකක් ගත වූ පසු එතැන් සිට මාස හය දක්වා කාලය මවත් ළදරුවාත් අතර මූලික බැඳීම වර්ධනය වන කාල සීමාවයි. අම්මාගේ සුවඳට, සිනහවට උණුසුමට ප්‍රතිචාර දැක්වීමට ළදරුවා හුරුවන නිසාම මව සතුටින් සිටීම ළදරුවාට ඉතා වැදගත් වේ. මවගේ මුහුණට අමතරව ළදරුවා සිටින වටපිටාව සරසා ඇති රතු, කහ, නිල්, කොළ වැනි මූලික වර්ණයන්ගෙන් යුතු සරල මෝස්තර ද ළදරුවාගේ මනෝමීය වර්ධනයට ඉතාමත් වැදගත් වේ. ළදරුවාගේ වයස මාස පහක් පමණ වන විට කොට්ට ආධරයකයක් ලෙස තබමින් වාඩිවී සිටීමට සැලැස්විය හැකි අතරම එමගින් වැතිරී සිටින විටදීට වඩා වැඩි වශයෙන් වටපිටාව දැක ගැනීමට අවස්ථාව ළදරුවාට හිමිවේ. එසේම අවට පරිසරයට ළදරුවා නිරාවරණය කිරීමේදීත් හොඳින් වටපිටාව පෙනෙන පරිදි මවගේ සිරුර මගින් ළදරුවාට ආධාර කොට ඉදිරිය පෙනෙන සේ තබාගැනීමද වදගත් වේ. මෙවැනි දේද ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනය යහපත් ආකාරයට සිදුවීමට බෙහෙවින් ඉවහල් වේ.

කෙසේ වුවද මාස හය සම්පූර්ණ වූ ළදරුවෙක් ශබ්දයට ප්‍රතිචාර නොදක්වයි නම්, සිනාසෙන්නේ නැතිනම්, ශ්‍රව්‍ය දෘෂ්‍ය ආබාධ ඇත් දැයි සොයා බැලීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම ඉතා වැදගත් වේ. මන්ද එවැනි ආබාධ පවතී නම් මොළයේ වර්ධනය අඩාල වන අතරම එවැනි තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමෙන් අවශ්‍ය පියවර හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකිය.

ළදරුවාට මාස හයේ සිට මාස දොළහ සම්පූර්ණ වන තෙක් කාලය මවත් ළදරුවාත් අතර දැඩි බැඳීමක් ඇති වන කාල සීමාවයි. අම්මා යන චරිතය ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් චරිතයක් බවට පත්වන්නේ මෙසේ මාස හයේ සිට දොළහා දක්වා කාල සීමාව තුළ ඇති වන තද බල බැඳීම තුළිනි. මෙය ළදරුවෙකුගේ මනෝමීය සංවර්ධනය කෙරේ තදින්ම බලපාන තත්ත්වයකි. අද වන විට බොහොමයක් මව්වරුන් රැකියාවේ නියුතුව සිටන අතරම නිවසට පැමිණිය ද දරුවා සමග ගත කිරීමට කාලයක් වෙන් කොට නොගනී. එමගින් සිදුවන්නේ දරුවා හා රැකබලාගන්නා පුද්ගලයා සමග එම තද බල බැඳීම වර්ධනය වීමයි.  මේ හේතුව මත දරුවෙකු මවට වඩා වැඩි ආදරයක් රැකබලගන්නා පුද්ගලයා වෙත දැක්විය හැක. මෙහිදී මෙම බැඳීම දරුවා සමග නිතර රැදෙන, ආදරය දක්වන රැකබලාගන්නා පුද්ගලයා සමග ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි.

ළදරු අවධියේ සිටම දරුවාගේ මනෝමීය සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ඇයි දැයි දැන් ඔබට පැහැදිලි වනු ඇත. මව්වරුන් වශයෙන් ඔබ දරුවන්ගේ ශාරීරික පෝෂණය හා සමානවම මානසික පෝෂණය පිළිබඳවත් සැළකිලිමත් වීම අනිවාර්ය වේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article