- Advertisement -

අලුත් පාසල්වාරයට පොත් පත් අරගෙන දුන්නාටමත් මදි…

-

අලුත් පාසල්වාරය පටන් ගන්නාවාත් සමග අලුත් පොත්පත් ගැන දරුවන්ගේ උනන්දුව ඇති වෙනවා. මේ පොත් පත් අලුත් විදිහට ලස්සනට පිලියෙළ කර දීමට අම්මා , තාත්තා ඇත්තටම උනන්දු වීම අවශ්‍යයි.

සල්ලි විය පැහැදම් කරල පොත්පත් අරං දීලා දැන් ඉතිං අපේ වගකීම අවසානයි… කියල අම්මා තාත්තාට හිත සැහැල්ලු කරගන්න බැහැ. පොත් පත් කවර දාලා ලස්සන කරන වගකීමත් මව්පියන්ට ලබා දීම අවශයයි. යමක් කර කියා ගන්න දරුවන් විෂයෙහි නම් මේ ගැන ඇත්තටම වද විය යුතු නැහැ. ඒත් පුංචි පංතිවල සිටින දරුවන්ගේ පොත් පත් ලස්සනට කවර දාලා , නම් , ලියලා , පින්තූර අලවලා ලස්සන විදිහට සකස් කර දුන්නොත් දරුවන් තුළ ඉගෙන ගැනීමේ උනන්දුව වර්ධනය කිරීමටත් පුලුවන්.

- Advertisement -

පොත්පත් කවර දමන අවස්ථාවලදී දරුවන්ද ඒ සඳහා සම්බන්ධ කර ගන්න. එවිට මේ මගේ පොත්ය යන සිතුවිල්ලෙන් දරුවා පොහොසත් වෙනු ඇත. ඔවුන්ද මෙම පොත් පත් ස්පර්ශ කරනු ඇත. එහි නැවුම් සුවඳ  ආඝ්‍රනය කරන්නේ නොදැනුවත්මය. ආහාර පිසින විට වහනය වෙන සුවඳ ආහාර වෙනුවෙන් රුචිය ඇති වීමට නොදැනම හේතු වෙන්නා සේම, පොත් පත් වෙතින් වහනය වෙන මෙම නැවුම් සුවඳත් දරුවා පොත් පත් සමග බද්ධ වීමට නොදැනම හේතු වෙනවා.

පොත් පත් ඉතා ආකර්ශනීය විදිහට සකස් කිරීම නිසාත් දරුවා සහ පොත් පත් අතර සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. වගකීමෙන් මිදෙන්නට පොත් පත් මිළට ගැනීමට වඩා මේ පොත් ඉතා ආකර්ශණීය විදිහට සකසා දෙන්න. පොත් කඩමාලු විදිහට අපිරිසිදු වූ විට ඉගෙණුම වෙනුවෙන් තිබෙන උනන්දුව හීන වෙන බව ඇත්ත. සැබෑ ලෙසින් පොතට ආදරය කරන දරුවෙක් ඔහුගේ පොත් පත් පරිශීලනයෙන්ම හඳුනා ගත හැකියි. මේ නිසා ඔබ දරුවාගේ පොත් පත් ඉතාම ආකර්ශණීය විදිහට සකසා දෙන්න. එම අවස්ථාවට දරුවන්ද සම්බන්ධ කර ගන්න. පොත් පත් වල නම් ලියන විට සම්පූර්ණ නාමයම සටහන් කරන්න. ඇතැම් අවස්ථාවල පංතියේ එකම නමින් දරුවන් කිහිප දෙනකු සිටින නිසා ඔබේ දරුවාගේ අන්‍යතාවය ඔහුටද තේරුම් යන සේ ලියා ඒ බව ඔවුන්ට පෙන්වා දෙන්න.

ඇතැම් දරුවන් තමන්ගේ පොත පත පවා  අඳුනන්නේ නැත.ඊට හේතුව මේ සියල්ල මව්පියන් විසින් ඉටු කර දීමයි. නොදරුවන්ට එසේ උදව් කිරීම වරදක් නොමැති වුනත් දරුවන් මෙම කටයුතු වෙනුවෙන් සහසම්බන්ධ කර ගන්න. තවත් දෙමව්පියන් දරුවන්ටම මෙම කටයුතුවල වගකීම පවරා ඔවුන් නිදහස් වෙනු ඇත. එහෙත් දරුවන්ගේ කටයුතු තුළ යම් යම් දුෂ්කර අවස්ථාවන් ඇති වේ. එවිට ඔබගේ උදව් උපකාර දරුවන්ට අවශ්‍ය වේ. එසේ නොමැති විට ඔබ මිළට ගත් කවර , ඉටිකවර ආදිය නිකරුනේ නාස්ති වෙනු ඇත. මේ නිසා පොත් ලස්සන කරන විට තනිවම නොව වැඩිහිටියන්ගේ අධීක්ෂනයත් අවශ්‍ය වෙන  බව දරුවන්ටත් සඳහන් කරන්න. අම්මා..තාත්තා එසේ නැත්නම් පවුලේ වැඩිමහල්ලෙක් හෝ සමග මෙම කටයුතු කරන සේ දරුවාට උපදෙස් ලබා දෙන්න.

පොත්පත්වල අලවන පින්තූර ගැනත් කල්පනාකාරී වෙන්න. නිතරම දරුවාගේ මනසට ගෝචර පින්තූර තෝරා ගන්න. ආගමික පොත්පත් වල අලවන පින්තූර සඳහා ඔ‍බ අදහන ආගමට සම්බන්ධ පින්තූර තෝරා ගන්න. ඇතැම් මව්පියන් දරුවන්ගේ පොත්පත්වල අලවන පින්තූරවල අදහස විටෙක දරුවන් පවා මව්පියන්ද නොදන්නවා ඇත.

පොත් පත් කවර දමන විට පහසුවෙන් හඳුනාගත හැකි පරිදි වර්ණ සංකේතයක් භාවිතා කරන්න. එයින් දරුවාට එම පොත් පත් පහසුවෙන් හඳුනාගත හැකි වේ. උදාහරණයක් ලෙස කිවහොත් පරිසරයට ඔබ කොළ පැහැය තෝරා ගත්තේ නම් පෙළ පොත, සටහන් පොත, වැඩපොත ආදි සියල්ලටම කොළ පැහැය දමන්න. ගණිතයට රතු පැහැය තෝරා ගත්තේ නම් එහිද පෙළ පොත, වැඩපොත, ගණිත අභ්‍යාස ආදි පොත් කට්ටලයම රතු පැහැති කවර වලින් සරසන්න. එවිට ඉතාම පහසුවෙන් දරුවාට අදාල එක්ක එක් විෂයට සම්බන්ධ පොත් පත් හ ුනා ගත හැකියි. නැත්නම් අදාල පොත් පත් හඳුනා ගැනීමේ අපහසුව නිසාම බොහෝ පොත් පත් පාසලට ගෙන යෑමේ අතපසුවීම්වලින් දරුවා අපහසුතාවයට පත් වෙනු ඇත. මේ අන්දමේ වර්ණ රටාවක් අනුගමනය කළ විට එම අපහසුතාවයෙන් දරුවා ඉතාම පහසුවෙන් මුදවා ගත හැක.

වසරක් ආරම්භයේදී මේ අන්දමින් ඉතාම අලංකාර ලෙසින් සනසා දෙන ලද පොත් පත් වසර අවසාන වෙන තෙක්ම ඉතාම ලස්සනට තබා ගත යුතු බවට දරුවාට උපදෙස් ලබා දෙන්න. එවිට ඔවුන්ද ඒ ගැන උනන්දු වෙනු ඇත. ඇතැම් දරුවන්ගේ පොත් පත් ඉතා අපිරිසිදුය. අප්‍රවේසම්සහිතය. මෙම බොහෝ වැරැදි නිවරැදි කර ගැනීමට දැන් අවස්ථාව සලසා ගත හැක. මහනුවර සියඹලාගස්තැන්න සුබසාධක සමිතිය මගින් මීට වසර කිහිපයකට ඉහතදී ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් විය. එහිදී හොඳින් පොත් පත් පාවිච්චි කරන ගමේ දරුවන් තෝරා ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනමන ක්‍රමයක් ක්‍රියාත්මක විය එහිදි හොඳම පොත් පරිහරනය කරන දරුවන් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයක් පවා පත් කරන ලදී. ඒ නිසාම ඉතාම අපිලිවෙලට පොත් පත් පරිහරනය කරන ලද දරුවන් මේ ක්‍රමයෙන් තමන්ට ත්‍යාග ලබා ගැනීම සඳහා ඇති උනන්දුව තුළ ඉතා පිළිවෙළට පොත් පත් පරිහරනය කරන පිරිසක් බවට පත් වුයේ ඔවුන්ද නොදැනුවත්මය.

මෙම සමිතිය විසින් විනිශ්චය මණ්ඩලය වෙත ලබා දුන් නිර්ණායකයන් අතර පොත් පත් පිරිසිදුව තබා ගැනීමට අමතරව නිවරැදිබව, විෂය භාර ගුරුවරයාගේ අත්සන සහ පොත් පත් පෙන්වීම පිලිබඳ සහතිකය සහ වැඩකොටස්වල සම්පූර්ණ කිරීම වැනි කරුණුද ඇතුලත් විය. ඒ නිසාම දරුවන් පොතේ පත් වල වැඩ අසම්පූර්ණයි….යන සටහන යොදා ගැනීම වෙනුවට තරු ලකුණු සහ හොඳයි යන සහතිකයෙන් පොත් පත් පුරවා ගත්හ.

අම්මා තාත්තා ලෙස ඔබත්  දරුවන්ට මේ ගැන අවධාරනයෙන්ම සඳහන් කළ යුතුය. බොහෝ දරුවන්ගේ එතම පිලිතුර ටීච පොත බැලුවේ නැහැ යන්නයි. ඇත්ත එය නොවේ…දරුවා අදාල කාලච්ඡේදයේ වැඩ සම්පූර්ණ නොකර පොත නොපෙන්වා සිටීමයි.දරුවාගේ පොත් පත් දිනය අවසානයේ පරීක්ෂා කර බලන්න. පොත නොපෙන්වා ඇත්නම් ඒ ගැන විමසා සිටින්න. දිගින් දිගට මේ තත්වය ඇත්තේ නම් පංති රැස්විමේදී ඒ පිලිබඳව විමසා සිටීමට මව්පියන් ලෙස ඔබට අයිතියක් ඇත. දරුවන් නිතරම තමා නිදොස් බව කිව්වත් ඔබත් ඒ ගැන පසුවිපරමේ යෙදෙන්න. එවිට දරුවන්ගේ සදොස් තැන් වෙතොත් නිදොස් කර ගැනීම එතරම් අපහසු නැත

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article